පැරදෙන ක්‍රිකට් ගැන හිටපු මැකොගෙන් සැර කතාවක්

0
Sri Lanka Cricket Team - පැරදෙන ක්‍රිකට් ගැන හිටපු මැකොගෙන් සැර කතාවක්
ශ්‍රී ලංකාව ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්තය කණ්ඩායම අතර පැවැති තරඟ 03 කින් සමන්විත විස්ස තරඟාවලියෙන් පූර්ණ ජයක් ලැබීමට එංගලන්තය සමත් වුණා.

ඒ, ඊයේ පැවති අවසන් විස්සයි විස්ස තරඟය ලකුණු 89 කින් ජය ගැනීමත් සමඟයි.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 180 ක් ලබා ගත්තා.

එහිදී ඩේවිඩ් මලන් ලකුණු 76 ක් සහ ජොනී බැරිස්ටෝ ලකුණු 51 ක් එංගලන්තය වෙනුවෙන් ලබාගත් අතර, දුෂ්මන්ත චමීර ලකුණු 17 කට කඩුළු 04 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු 05 කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 91 ක් පමණයි.

එහිදී බිනුර ප්‍රනාන්දු පමණක් ලකුණු විස්සක් ලබාගත් අතර, අනෙක් සියලු ක්‍රීඩකයින් ලකුණු 20 සීමාව පසුකර ගියේ නැහැ.

මේ අතර, ශ්‍රී ලංකාව ලද පරාජය සම්බන්ධයෙන් හිටපු ටෙස්ට් ක්‍රිකට් සහ ජාත්‍යන්තර තරඟ තීරක රොෂාන් මහානාම ට්වීටර් පණිවුඩයක් නිකුත් කර තිබුණා.

එමඟින් ඔහු සඳහන් කර ඇත්තේ වත්මන් ක්‍රිකට් කණ්ඩායම සහ මීට පෙර පැවති කණ්ඩායම් අතර බරපතල වෙනසක් තමන් නොදකින බවයි.

කෙසේ වෙතත්, රට වෙනුවෙන් ක්‍රීඩා කර ජයග්‍රහණය ලැබීමේ ආකල්පය වත්මන් ක්‍රීඩකයින් තුළින් ප්‍රදර්ශනය නොවීම පිළිබඳව කණගාටු වන බව රොෂාන් මහානාම සඳහන් කර තිබෙනවා.

එමෙන්ම, සමාජ මාධ්‍ය ඔස්සේ තරඟ පරාජය පිළිබඳ සටහනක් තබමින් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර ඇත්තේ “අත පය වලංගු නොමැති මෙම ළදරුවන් කවදාවත් ක්‍රිකට් එපා නොවන අපට අද ක්‍රිකට් එපා කළ” බවයි.

Roshan Mahanama Twitter

Mako FB Status

(හිරු නිවුස් වෙබ් අඩවිය ඇසුරිනි)