මත්පැන් අලෙවි බලපත්‍ර සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වමින් තහනම් නියෝගයක්

0
මත්පැන් අලෙවි බලපත්‍ර

පසුගිය රජය සමයේ මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා වන වාර්ෂික ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (දෙසැ. 6) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම නියෝගය ලබා දී ඇත්තේ, ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

ශ්‍රී ලංකා මත්පැන් අලෙවි බලපත්‍ර හිමියන්ගේ සංගමය ගොනු කළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

2024/1 දරන ගැසට් නිවේදනය මගින් මත්පැන් බලපත්‍ර සඳහා වන වාර්ෂික ගාස්තුව රුපියල් මිලියන 20 දක්වා වැඩි කළ බව ත් එමගින් තමන්ට දැඩි අසාධාරණයක් සිදු වූ බව ත් එම නිසා සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබේ.

එමෙන් ම, 2017 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය අනුව බලපත්‍ර ගාස්තු අය කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස එම පෙත්සමෙන් වැඩිදුරට ත් ඉල්ලා තිබිණි.