පොහොර සහනාධාරය රුපියල් 25,000ක් දක්වා ඉහළට

0
fertilizer - පොහොර සහනාධාරය රුපියල් 25,000ක් දක්වා ඉහළට

ලබන මහ කන්නයේ (2024/25) සිට ගොවීන්ට ලබාදෙන පොහොර සහනාධාරය රුපියල් 25,000 ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පැවැසීය.

ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය විසින් මෙලෙස අනුමැතිය ලබාදී තිබේ.

මීට පෙරදී රුපියල් 10,000 ක පොහොර සහනාධාරයක් ලබාදුන් අතර, එය රුපියල් 15,000 දක්වා වැඩි කිරීමට තීරණය කර තිබුණි. නමුත්, හෙක්ටයාර් එකක වී වගාව සඳහා රුපියල් 15,000 ක එම සහනාධාරය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවින් එය දෙගුණයකින් ඉහළ නැංවීමට තමා යෝජනා කළ බවද ඇමැතිවරයා පැවැසීය.

නමුත් රටේ ආර්ථික තත්ත්වය සහ මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට අනුමැතිය ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (27 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කියා සිටියේය.

ඉදිරි මහ කන්නයේදී බණ්ඩි පොහොර නොමිලේ ලබාදීමට අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙන බවත්, මේ නිසා ලබන මහ කන්නයේ සිට ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා මුදල් වියදම් කිරීමට අවශ්‍යතාවයක් පැන නොනගින බව ද ඇමැතිවරයා කීවේය.