ශ්‍රී ලංකාවේ තීරණාත්මක ම මැතිවරණය – මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා තවත් ඇත්තේ කෙටි කාලයකි.
අගෝස්තු 14 වන බදාදා මධ්‍යහන 12:00ට ජනාධිපතිවරණ අපේක්ෂක ඇප තැන්පත් කිරීම අවසන් වුණු අතර මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අගෝස්තු 14 වන දා වන විට අපේක්ෂකයින් 40 දෙනෙකුගෙන් ඇප මුදල් ලැබී තිබුණු බව ය.
ඒ අතරින් 17 දෙනෙකු ස්වාධීන අපේක්ෂකයින් බවට එහි සඳහන් විය.
කෙසේ වෙතත්, අගෝස්තු 15 බ්‍රහස්පතින්දා නාම යෝජනා භාර දී තිබුණේ, ඒ අතරින් අපේක්ෂකයින් 39 දෙනෙකු පමණි.
ඔවුන් අතරින් එක් අපේක්ෂකයෙකු අගෝස්තු 22 වන දා රාත්‍රියේ ජීවිතක්ෂයට පත් වූ අතර, ඒත් සමග අපේක්ෂකයින් ගණන 38ක් දක්වා පහළ ගියේ ය.
මැතිවරණ කොමිෂන් සභාවට අනුව, එම අපේක්ෂකයින් අතර භික්ෂූන් වහන්සේලා දෙනමක් ද සිටිති. කිසිදු කාන්තාවක මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී නොමැත.
මේ, 2024 ජනාධිපතිවරණයේ කැපී පෙනෙන අපේක්ෂකයින් සිව් දෙනෙකුගේ තොරතුරු පිළිබඳව සිදු කෙරෙන විමසා බැලීමකි.
රනිල් වික්‍රමසිංහ
මේ වන විට 75 වන වියේ පසුවන ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණය සඳහා තරග කරන්නේ, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ය.
ඔහුට පෙර ජනාධිපති ධූරයේ කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ ජනතාව විසින් ධූරයෙන් නෙරපා හරිනු ලැබීමෙන් පසු, 2022 වසරේ ජූලි මස 21 වන දා ඔහු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස ධූරයේ දිවුරුම් දුන්නේ ය.
ජනාධිපති ධූරයට පත්වීමට පෙර ඔහු ගෝඨාභය රාජපක්ෂ රජයේ අගමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ ය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය සඳහා තෝරා පත් කර ගනු ලැබුවේ, ජනාධිපති මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත (1981 අංක 2) යටතේ පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකිනි.
- පෞද්ගලික තොරතුරු
1949 මාර්තු 24 වන දින උපන් රනිල් වික්‍රමසිංහ 1995 වසරේදී විවාහ විය.
ඒ, කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි පිළිබඳ ප්‍රධාන මහාචාර්ය සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයේ, ප්‍රාරම්භක අධ්‍යක්ෂිකා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමග ය.
එස්මන්ඩ් සහ නාලිනී වික්‍රමසිංහ යුවළට දාව දෙවන පුතු ලෙස උපන් ඔහුට සහෝදරයින් තිදෙනෙකු සහ එක් සහෝදරියක සිටියි.
- අධ්‍යාපනය
කොළඹ රාජකීය විද්‍යාලයෙන් ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය ලද ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ උපාධිධරයෙකි. 1972 වසරේදී මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥවරයකු ලෙස ලියාපදිංචි වූ ඔහු එතැන් පටන් වසර පහක කාලයක් නීතිඥවරයකු ලෙස අත්දැකීම් ලැබී ය.
ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ කේම්බ්‍රිජ්හි මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ රොබට් ඊ. විල්හෙල්ම් සාමාජිකත්වය හෙබවූ අතර 2017 වසරේදී, ඔහු විසින් රට වෙනුවෙන් කරන ලද දේශපාලන සේවය අගයමින්, ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය ඔහුට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීය.
- දේශපාලනයේ ගමන් මග
විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන කාලයේ සිට ම එක්සත් ජාතික පක්ෂයේ තරුණ සංගමයේ සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති රනිල් වික්‍රමසිංහ 1977 වසරේදී, එනම්, වයස අවුරුදු 28දී පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.
ඔහු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යටතේ මෙරට සිටි ළාබාලතම අමාත්‍යවරයා ලෙස විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරය දැරීය.
ඉක්බිතිව ඔහු යෞවන කටයුතු හා රැකියා පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු අතර පසුව ඔහු එවකට පැවති රජයේ අධ්‍යාපන අමාත්‍ය ධූරයේ ද කටයුතු කළේ ය.
කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර ඇති රනිල් වික්‍රමසිංහ 1989 වසරේදී ජනාධිපති ප්‍රේමදාස යටතේ සභානායක ධූරයට පත් කෙරිණි.
රනිල් වික්‍රමසිංහ අවස්ථා හයකදී මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ. ඔහු ප්‍රථම වරට අගමැති ධූරය සඳහා පත් වූයේ, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් පසු 1993 – 1994 කාලය තුළ ය.
1994 සිට 2001 දක්වාත් 2004 සිට 2015 දක්වාත් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයේ 6 වරක් කටයුතු කර ඇත.
2020 වර්ෂයේ අගෝස්තු මාසයේදී රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය පරාජය වූ අතර එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුව තුළ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පමණක් හිමි විය.
ඔහු (2020 වසරේ අගෝස්තු මාසයේ සිට 2021 වසරේ ජූනි මස දක්වා මාස 10ක විවේක කාලයක් හැරුණු කොට) සියලු ම පාර්ලිමේන්තූන්හි මන්ත්‍රීවරයෙකු ලෙස කරටුතු කර ඇත.
ඔහු වසර 47ක කාලයක් පාර්ලිමේන්තුවේ සිටි දේශපාලනඥයෙකි.
- මතභේදාත්මක සිදුවීම්
2022 වසරේ ජනාධිපති ධූරයේ දිවුරුම් දී පැය 12ක් ගතවීමටත් පෙර ඔහු විසින් ආරක්ෂක අංශ යොදවා ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඒ අවට ප්‍රදේශයේ ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුවට එරෙහිව විරෝධතා කළ විරෝධතාකරුවන් ඉවත් කිරීමට පියවර ගනු ලැබී ය.
2019 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දරුණු පරාජයකට මුහුණ දුන්න ද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නිසා ඔහු නැවතත් පාර්ලිමේන්තුවට පැමිණියේ ය.
පසුගිය කාලය තුළ ඇතැමුන් ඔහු “රනිල් රාජපක්ෂ” ලෙස හැඳින් වූ අතර තවත් සමහරෙක් ඔහු “පිං ජනපති” ලෙස විවේචන කළහ.
ඔහු ජනාධිපති ධූරයට පත් වී ගත වුණු දෙවසර තුළ “පනත් 90ක් පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගත්තේ ය.” නමුත් එම පනත් සම්මත කර ගැනීමේදී අඩුපාඩු දක්නට ලැබුණු බවට විවේචන එල්ල විය.
ජනාධිපති ධූරයට පත් වීමෙන් අනතුරුව 2022 වසරේ මැයි මස 16 වන දා ඔහු “හුණු වටයේ කතාව” අළලා ජාතිය අමතා සිදු කළ කතාව සම්බන්ධයෙන් ද සමාජයේ දැඩි කතා බහක් නිර්මාණය විය.
මැතිවරණ පැවැත්වීම කල් දැමීමට ඔහු කටයුතු කරන බවට ද බොහෝ දෙනෙකුගේ චෝදනා එල්ල විය.
2015 වර්ෂයේ ජනවාරි මාසයේදී මෛත්‍රීපාල සිරිසේන මෙරට ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීමෙන් පසු ගොඩනැගූ හවුල් ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස ද රනිල් වික්‍රමසිංහ කටයුතු කළේ ය.
2018 වසරේ ඔක්තෝබර් මාසයේදී යහපාලන ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරය දරමින් සිටි අවධියේදී එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත් කරනු ලැබීය.
කෙසේ වෙතත්, එම වසරේ ම දෙසැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ නැවතත් අගමැති ධූරය සඳහා පත් කිරීමට සිරිසේන ජනාධිපතිවරයාට සිදු විය.
“ව්‍යවස්ථා අර්බුදය” හා “ව්‍යවස්ථා කුමන්ත්‍රණය” ආදී ලෙස ද හැඳින්වූ එම සිදුවීම් දාමය දින 52ක් පුරා ඇදී ගියේ ය.
2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් බලධාරීන්ට තොරතුරු ලැබී තිබියදී ත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ හේතුවෙන් දෝෂාරෝපණයට ලක් වූ පිරිස අතර එවකට අග්‍රමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ ද සිටි නමුත් පසුව ඔහුට එරෙහි නඩුවලින් ඔහු මුදාහැරිණි.
2005 ජනාධිපතිවරණයේදී ඔහු මහින්ද රාජපක්ෂට පරාජය විය.
අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස 1980 දශකයේ පාසල් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින් ඔහු විසින් ගෙන එන ලද “අධ්‍යාපන ධවල පත්‍රිකාව” හෙවත් අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා සඳහා එවකට සමාජයේ දැඩි විරෝධයක් එල්ල විය.
1988-89 භීෂණ සමයෙහි පවත්වාගෙන යන ලදැයි පැවසෙන “බටලන්ද වධකාගාරය” පිළිබඳව දැන සිටි බවට රනිල් වික්‍රමසිංහට චෝදනා එල්ල විය.
ඔහුගේ දේශපාලන ජීවිතයේ මුහුණ දුන් දරුණුතම විවේචන අතර කොටි සංවිධානයත් සමග සාම ගිවිසුමක් ඇති කර ගැනීම සහ 2015 පාලන සමයෙහි සිදු වූ “මහ බැංකු කොල්ලය” දැඩි ලෙස කතාබහට ලක් වුණු සිදුවීම් ය.
සජිත් ප්‍රේමදාස
මේ වන විට 57 වන වියේ පසුවන සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරයි.
ඒ, සමගි ජන බලවේගය නියෝජනය කරමිනි. නමුත් ඔහු මෙවර ජනාධිපතිරවරණයට ඉදිරිපත් වන්නේ, සමගි ජන සන්ධානය නියෝජනය කරමිනි.
ඔහු, 1993 වසරේදී ඝාතනය කෙරුණු මෙරට දෙවන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රණසිංහ ප්‍රේමදාසගේ පුත්‍රයා වෙයි.
- පෞද්ගලික තොරතුරු
1967 ජනවාරි 12 වන දා වසරේදී කොළඹදී රණසිංහ ප්‍රේමදාසට සහ හේමා ප්‍රේමදාසට දාව උපන් සජිත් ප්‍රේමදාසට එක් සහෝදරියක සිටියි.
බිරිඳ ජලනි ප්‍රේමදාස ය.
- අධ්‍යාපනය
ඔහු කොල්ලුපිටිය සාන්ත තෝමස් ප්‍රෙප් විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා ලන්ඩනයේ මිල් හිල් පාසලේදී පෙනී සිට තිබේ.
එමෙන් ම, ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයේ, ආර්ථික හා දේශපාලන විද්‍යාව පිළිබඳ ලන්ඩන් විද්‍යායතනයේ උපාධිධාරියෙකු බව ඔහුගේ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියේ සඳහන් වෙයි. ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව පසුගිය මැතිවරණ කාල සීමාවේ දැඩි කතාබහක් ද ඇති විය.
- දේශපාලනයේ ගමන් මග
දේශපාලනික පරිසරයක හැදී වැඩුණ ද සජිත් ප්‍රේමදාස දේශපාලනයට පිවිසින්නේ, තම පියාගේ ඝාතනයෙන් වසරකට පසු ය. ඒ, 1994 වසරේදී ය.
ඔහු එවකට හම්බන්තොට එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස කටයුතු කළේ ය.
සජිත් ප්‍රේමදාස 2000 වසරේ පාර්ලිමේන්තුවට පිවිසියේ, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වැඩි ම මනාප ගණනක් ලබා ගෙන සහ සමස්ත දිවයිනෙන් ම වැඩි ම මනාප ප්‍රතිශතය ලබා ගනිමිනි.
ඉන් වසරකට පසුව එක්සත් ජාතික පක්ෂය බලයට පත් වූ අවස්ථාවේ ඔහු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කෙරිණි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස ද කටයුතු කළේ ය.
ඔහු එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පෙරමුණ, එක්සත් යහපාලන ජාතික පෙරමුණ සහ සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇත.
2015 ජනවාරි සිට 2019 නොවැම්බර් දක්වා නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස ඔහු රනිල් වික්‍රමසිංහ යටතේ කටයුතු කළේ ය.
ඔහු වසර 24ක කාලයක් පාර්ලිමේන්තුවේ සිටි දේශපාලනඥයෙකි.
- මතභේදාත්මක සිදුවීම්
ඔහු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස 2019 වසරේ නොවැම්බර් 16 වන දා පැවති ජනාධිපතිවරණයට තරග කර ගෝඨාභය රාජපක්ෂ හමුවේ පරාජය වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ තමන් දැරූ නියෝජ්‍ය නායක තනතුරින් ඉල්ලා අස්වන බවට නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
අනතුරුව එම වසරේ ම දෙසැම්බර් මස 5 වන දා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඔහු විපක්ෂ නායක ධූරයට පත් කෙරිණි.
අනතුරුව 2020 වසරේ පැවති මහ මැතිවරණයට තරග කිරීම සඳහා සජිත් ප්‍රේමදාස විසින් “එක්සත් ජාතික පක්ෂය දෙකඩ කරමින්” සමගි ජන බලවේගය පිහිටුවා ගත්තේ ය. එහි නායකත්වය ඔහු විසින් දරනු ලබයි.
සජිත්, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා දිගු කලක සිට බල අරගලයක නිරතව සිටි අයෙකු විය.
වරෙක “රනිල් විරෝධී”, “සජිත්වාදී” පෙළපාලියකට මාතරදී ප්‍රහාරයක් එල්ල වුණු අතර එය අවසන් වූයේ, අධිකරණය දක්වා ගමන් කරමිනි. එය සමාජයේ “කුරුඳු පොලු නඩුව” ලෙස ව්‍යවහාර විය.
වන සතුන්ගේ ඡායාරූප ගැනීමට තුළ ඇති ලැදි බව මෙන් ම, සංගීත භාණ්ඩ වාදනය කිරීමට ඇති ඔහු තුළ ඇති කැමැත්ත දැඩි ලෙස සමාජය මාධ්‍ය තුළ කතා බහට ලක් වන මාතෘකා ලෙස තවමත් පවතී.
ඔහු සිදු කරන ඇතැම් ප්‍රකාශ ද සමාජය මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක්වන අවස්ථා පසුගිය කාල වකවානුවේ දැක ගැනීමට හැකි විය.
ඉස්ලාමීය භක්තියකයෙකු තමන්ට “අලි ඇතුන් දමනය කළ හැකි අල්-කුරානයේ ඇති ගාථාවක්” කියා දුන් බව ඔහු වරෙක පැවසූ අතර එය ද සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් කතාබහට ලක් වන මාතෘකාවක් බවට එවකට පත් විය.
එපමණක් නොව ඔහු විසින් ඉදි කරන ලද “සදා ලෝක පූජිත කුමාර් සංගක්කාර ගම” සහ “සදා ලෝක පූජිත අරවින්ද ද සිල්වා ගම” නමැති නව උදා ගම්මාන ද්විත්වය ද එවකට දැඩි කතා බහක් ඇති කළ සිදු වීම් විය.
අනුර කුමාර දිසානායක
මේ වන විට 55 වන වියේ පසුවන අනුර කුමාර දිසානායක මෙවර ජනාධිපතිවරණයට තරග කරන්නේ ජාතික ජන බලවේගයෙනි.
ඔහු ජාතික ජන බල වේගයේ මෙන් ම ජනතා විමුක්ති පෙරමුණේ ද නායකයා ලෙස කටයුතු කරයි. අනුර කුමාර දිසානායක 2014 පෙබරවාරි 2 වන දා පැවති ජනතා විමුක්ති පෙරමුණේ 7 වන ජාතික සමුළුවේදී එහි නායකයා ලෙස ඒකමතිකව තේරී පත් විය.
ඒ, පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහ අනුප්‍රාප්තික නායක සෝමවංශ අමරසිංහගෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත්වූ තුන්වැන්නා වෙමිනි.
- පෞද්ගලික තොරතුරු
දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක උපන්නේ, 1968 වසරේ නොවැම්බර් මස 24 වන දා ගලේවෙල, දේවහූව ප්‍රදේශයේදී ය.
අනුර කුමාර දිසානායකගේ පවුල සහ පවුලේ සාමාජිකයින් සම්බන්ධ තොරතුරු අප්‍රසිද්ධ නමුත් වරෙක ඔහුගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේදී ඔහුගේ බිරිඳ දැක ගැනීමට හැකි වුණු බවට ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබිණි.
2023 වසරේ පාර්ලිමේන්තුවේදී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කළේ, තම පුත්‍රයා “එයාර් ලංකා එකේ වැඩ කරනවා,” යනුවෙනි.
ඔහු යූටියුබ් නාළිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබුණේ, තමා ටියුෂන් ගුරුවරයෙකු ලෙස ද කටයුතු කළ බව ය.
- අධ්‍යාපනය
ඔහු තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් (ඊට පෙර තඹුත්තේගම ගාමිණී මහා විද්‍යාලය ලෙස හැඳින්විණි) සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලද අතර උසස් පෙළ සඳහා අධ්‍යාපනය තඹුත්තේගම මධ්‍ය මහ විද්‍යාලයෙන් ලැබුවේ ය.
උසස් පෙළ විභාගය සඳහා ගණිත අංශයෙන් පෙනී සිටි ඔහු 1992 වසරේදී භෞතික විද්‍යා උපාධිය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළු වීමට වරම් ලබන අතර 1995 වසරේදී තම උපාධිය ලබා ගත්තේ ය.
- දේශපාලනයේ ගමන් මග
1987 වසරේදී ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කළ කාලවකවානුවේ ශිෂ්‍යයෙකු ලෙස දේශපාලනයට පිවිසි ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ කටයුතුවලට ද සම්බන්ධ වන්නේ ය.
1997 වසරේදී ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායකවරයා ලෙස පත්වෙයි. එම වසරේදී ම ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට තේරී පත් වන ඔහු ඉන් වසරක් ගත වීමෙන් පසු එනම්, 1998 වසරේදී එහි දේශපාලන මණ්ඩලයට පත් වන්නේ ය.
එම වසරේදී ම ඔහු මධ්‍යම පළාත් සභාවේ මහ ඇමති ධූරය සඳහා තරග කළේ ය.
අනුර කුමාර දිසානායක ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 2000 වසරේදී ය. ඔහු 2001 වසරේදී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇති කළ පරිවාස ආණ්ඩුව බිහි කිරීමට දායකත්වය සැපයීය.
2004 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ, පොදු පෙරමුණ සමග එක්ව ‘එක්සත් ජනතා නිදහස් සන්ධානය’ පිහිටුවා ගත් අතර එම වසරේ පැවති මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩි ම මනාප ගණන ලබා ගනිමින් ඔහු පාර්ලිමේන්තුවට නැවතත් තේරී පත්විය. එම ආණ්ඩුවේ ඔහු කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.
2008 වසරේදී ඔහු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායකයා ලෙස තේරී පත් විය. අනතුරුව 2010 වසරේ පැවති මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තුවෙන් නැවතත් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් විය.
ඔහු 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් ද කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට නැවතත් තේරී පත් විය.
එම වසරේ ම සැප්තැම්බර් 3 වන දා සිට 2018 දෙසැම්බර් 17 වන දා දක්වා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයා ලෙස ද ඔහු කටයුතු කළේ ය.
ඔහු වසර 24ක කාලයක් පාර්ලිමේන්තුවේ සිටි දේශපාලනඥයෙකි.
- මතභේදාත්මක සිදුවීම්
අසූව දශකයේ අග භාගයේ “භීෂණ සමයේදී” ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරන ලද ඝාතන ඇතුළු “සිදු නොවිය යුතුව තිබුණු ක්‍රියා” පිළිබඳව අනුර කුමාර දිසානායක සමාව ඉල්ලා සිටියේ, 2014 වසරේ බ්‍රිතාන්‍යයේ සංචාරයක යෙදී සිටියදී එවකට බීබීසී සංදේශය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
ජාතික ජන බලවේගය නියෝජනය කරමින් 2019 වසරේ නොවැම්බර් මාසයේ පැවති ජනපතිවරණයට ඉදිරිපත් වූ ඔහුට ලබා ගැනීමට හැකි වූයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 3%කට ආසන්න ප්‍රතිශතයකි.
අනුර කුමාර විසින් 2022 වසරේදී පක්‍ෂ-විපක්‍ෂ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් මෙන් ම ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසි විසින් සිදු කරන ලද බව කී දූෂණ ඇතුළත් ලිපි ගොනු අනාවරණය කරනු ලැබීම ද එවකට සමාජයේ දැඩි කතාබහක් ඇති කළ සිදුවීමක් විය.
එක් අවස්ථාවක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ, එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපති කර වීමට තමන් ඇතුළු පිරිස සමග අනුර කුමාර දිසානායක ද වැඩ කළ බව ය.
වරෙක විදෙස් දූපතක මුදල් ආයෝජනය කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු එවකට සඳහන් කළේ, “මමත්, අපේ පක්ෂයේ කිසිවෙක් මේ රටේ මහජනයගේ මුදල් සතයක් හොරකම් කරලා නැහැ,” යනුවෙනි.
විපක්ෂයේ දේශපාලනඥයින් විසින් දේශපාලන වේදිකාවල ඔහු “රතු අලි පැටියා” ලෙස හඳුන්වනු ලැබුවේ, ඔහු සහ රනිල් වික්‍රමසිංහ අතර සමීප සම්බන්ධයක් පවතින බවට චෝදනා නගමිනි.
2004 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක් වූයේ යුද්ධය අවසන් කිරීමේ මූලික පරමාර්ථයෙනි.
අනුර කුමාර දිසානායක ඉන් වසර කිහිපයකට පසු, එනම් යුද්ධය අවසන් වීමට ප්‍රථම පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “ත්‍රස්තවාදය පරාජයට පත් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලදී, විශේෂයෙන් ඔය කැබිතිගොල්ලෑව ප්‍රශ්නය මතු වුණා. ඒ වෙලාවේ අපේ සහෝදරවරු, අපේ සහන සේවා බළකාය ඒ හමුදාවන්ට ගිහිල්ලා කඳවුරු හදලා දුන්නා. බංකර් හදලා දුන්නා. සියල්ල අපි කරලා දුන්නා ඒ පළාතේ.
ඒ විතරක් නෙවෙයි, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රදේශයේ කවුරුවත් යන්නේ නැති ගම්මානවල රතු තරුව බළකාය ගිහිල්ලා බංකර් හදලා දීලා, පාරවල් හදලා දීලා, ඒ හමුදාවේ සොල්දාදුවන්ට දෙන්න පුළුවන් උපරිම ධෛර්යය අපි විපක්ෂයේ ඉඳන් දෙමින් තිබෙනවා.”
එම කාල වකවානුවේ ක්‍රියාත්මක කළ “මානෙල් මල් ව්‍යාපාරය” හරහා හමුදා නිලධාරීන්ට “අභිමානයක් සහිත මිනිසුන් හැටියට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ බව” ද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.
තව ද අනුර කුමාර දිසානායක යහපාලන රජයේ පාර්ශවකරුවෙකුව සිටි බව කැබිනට් පත්‍රිකාවකින් හෙළි වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මීට පෙර පෞද්ගලික රූපවාහිනී නාළිකාවක දේශපාලන වැඩසටහනකට සම්බන්ධ වූ අවස්ථාවකදී පැවසීය.
නාමල් රාජපක්ෂ
මේ වන විට 38 වන වියේ පසුවන නාමල් රාජපක්ෂ මෙවර ජනාධිපතිවරණය සඳහා තරග කරන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙනි.
ඔහු මෙරට දෙවරක් ජනාධිපති ධූරයට පත් වූ මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුත්‍රයා ය.
- පෞද්ගලික තොරතුරු
මෙරට හිටපු අගමැතිවරයෙකු මෙන් ම ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ යුවළට දාව 1986 අප්‍රේල් 10 වන දා උපන් නාමල් රාජපක්ෂට තවත් බාල සහෝදරයින් දෙදෙනෙකු සිටියි.
නාමල්, ලිමිණි වීරසිංහ සමග විවාහ දිවියට එළඹෙන්නේ 2019 වසරේදී ය.
- අධ්‍යාපනය
ඔහු ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන අතර පාසල් වියේ සිට ම ඔහු රග්බි ක්‍රීඩාවේ නිරත වූ අයෙකු විය. තව ද ඔහු එම විදුහලේ ජ්‍යෙෂ්ඨ රග්බි කණ්ඩායමේ නායකත්වය ද දැරූ අතර 19 පහළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ද නායකත්වය දැරීය.
වෘත්තියෙන් නීතිඥවරයෙකු වන නාමල් රාජපක්ෂ City University Londonහි උසස් අධ්‍යාපනය ලැබීය. පසුව ඔහු නීතිඥවරයෙකු ලෙස සුදුසුකම් ලැබීමට මෙරට නීති විද්‍යාලයට බැඳුණු අතර එහිදී ඔහු අවසන් විභාගයට පෙනී සිටි ආකාරය පිළිබඳව විවිධ පාර්ශව වෙතින් චෝදනා එල්ල විය.
- දේශපාලනයේ ගමන් මග
දේශපාලන දිවියේ ආරම්භය සනිටුහන් කරමින් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු තේරී පත්වන්නේ 2010 වසරේදී ය. එතැන් සිට ඔහු මේ දක්වා ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි.
ඔහු දෙවරක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරයි.
බලයෙන් නෙරපා හැරුණු ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ඔහු යෞවන හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මෙන් ම, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේ ය.
නාමල් රාජපක්ෂ රග්බි ක්‍රීඩාව සඳහා දැඩි ලෙස ඇලුම් කරන අයෙකු වන අතර එම ඇල්ම පාසල් අවධිය තුළ දළුලා වැඩුණු බවට ඔහුගේ වෙබ් අඩවියේ සඳහන් වෙයි.
ඔහු 2013 වසරේදී මෙරට ජාතික රග්බි කණ්ඩායමේ නායකයා ලෙස පත් කෙරිණි. එවකට ඔහු ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටියේ ය.
ඔහු වසර 14ක කාලයක් පාර්ලිමේන්තුවේ සිටි දේශපාලනඥයෙකි.
- මතභේදාත්මක සිදුවීම්
රාජපක්ෂ පාලන සමයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් නාලිකාව (සීඑස්එන්) මීට පෙර ජනාධිපති ධූරය දැරූ මහින්ද රාජපක්ෂගේ පුතුන්ට අයත් වූවක් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගත් බව 2012 වසරේදී බීබීසී සංදේශය වාර්තා කළේ ය.
සීඑස්එන් රූපවාහිනි නාලිකාවේ කටයුතු සඳහා පොදු දේපළ යොදා ගැනීම ඇතුළු මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදු කරනු ලැබූ පරීක්ෂණයකින් පසුව 2016 වසරේදී නාමල් රාජපක්ෂගේ සොයුරු යෝෂිත රාජපක්ෂ සහ තවත් සිව් දෙනකු අත්අඩංගුවට ගැනිණි.
2016 වසරේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පරීක්ෂණයක් සිදු කෙරුණු අතර එහිදී ඔහුට අයත් බව කී ‘ගවර්ස් කෝපරේට්’ සහ ‘එන්ආර් කන්සල්ටේෂන්’ යන සමාගම්වල බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණයෙන් අවසර හිමි විය.
කෙසේ වෙතත්, 2023 වසරේ නොවැම්බර් 2 වන දා ඔහු ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු, සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේ ය.
එම වසරේදී ම අගෝස්තු මාසයේදී නාමල් රාජපක්ෂ ‘හෙලෝකෝප්’ සමාගමේ කොටස් නීති විරෝධීව මිල දී ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, ඔහු රිමාන්ඩ් භාරයට පත් කරන ලද දෙවන අවස්ථාව විය.
රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් එවකට රාජපක්ෂ පවුලට චෝදනා එල්ල වූ අතර 2015 වසරේදී බීබීසී සිංහල සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ පැවසුවේ, තමන් එම චෝදනා “දැඩි සේ ප්‍රතික්ෂේප කරන” බව ය.
2019 වසරේදී පැවති නාමල් රාජපක්ෂගේ විවාහ මංගල උත්සවයේ රුපියල් ලක්ෂ 26කට අධික විදුලි බිලක් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සිය පෞද්ගලික මුදලින් ගෙවා දැමීම සම්බන්ධයෙන් ද එවකට දැඩි කතා බහක් ඇති විය.
ඉකුත් වසරේ බීබීසී සිංහල සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ පැවසුවේ, “යම් තැනක වැරදීම් සිදුව ඇති බව ත් ඒවා හඳුනා ගෙන, නිවැරදි කරගෙන දේශපාලනයේ ඉදිරියට යාම තම අරමුණ බව ත්” ය.