සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවකු හා ඔහුට ආධාර අනුබල දුන් දෙදෙනා ගැන තවත් තොරතුරු හෙළිවී තිබේ.
ත්‍රස්ත මර්දන කොට්ඨාසය මගින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
දෙහිවල කවුඩාන ප්‍රදේශයේදී ඔවුන් තිදෙනාව අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය පැවසීය.
ක්ලබ් වසන්ත ඝාතනය කළ ස්ථානයේ තිබී සොයාගත් KPI ලෙස සඳහන් උණ්ඩවලට සමාන KPI ලෙස සඳහන් කළ ජීව උණ්ඩ 12ක් සැකකරුවන් සතුව තිබී සොයාගත් බවද පොලීසිය පැවසීය.
මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකුම මීට පෙර ද අත්අඩංගුවට ගෙන තිබුණි.
අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය ජූලි මස 8වනදාය.
ඝාතන සිද්ධියෙන් පසු වෙඩික්කරුවන් දෙදෙනා හා ඝාතනය මෙරට සිට මෙහෙය වූ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකිවූ අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ද ඉල්ලා තිබුණි.
එවන් පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රෝහන් ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවීමෙන් ත්‍රස්ත මර්දන කොට්ඨාසය ඊයේ (23) සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.
පොලීසිය පැවසුවේ අත්අඩංගුවට පත් පිරිස අතර ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුවකු වන අජිත් රෝහණ නොහොත් චණ්ඩි නමැත්තාද සිටින බවය.
ඔහු 31 හැවිරිදි අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
චණ්ඩි නමැත්තා හිටපු යුද හමුදා සෙබළෙකු වන අතර ඔහු 14 වන සිංහ රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කර තිබේ.
ඔහු මීට පෙරද මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවෙකි.
මේ අතර වෙඩික්කරුවන්ට අතුරුගිරිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගත් සහ වෙඩික්කරුවන් බස් රථයෙන් කතරගම දක්වා රැගෙන ගිය පුද්ගලයා බව පැවසෙන 29 හැවිරිදි වරුණ ඉන්දිකද සිල්වා හෙවත් සංඛ නමැති සැකකරු ද ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙක් බව පොලීසිය පැවසීය.
එමෙන්ම අදාළ සැකකරුවන් දෙදෙනාට දෙහිවල කවුඩාන ප්‍රදේශයේ නවාතැන් පහසුකම් ලබාදුන් 40 හැවිරිදි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් ඉම්රාන් නමැත්තෙක්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම තවත් ටී 56 ජීව උණ්ඩ 165ක්, මිලිමීටර 9 වර්ගයේ ජීව උණ්ඩ 77ක්, විවිධ වර්ගයේ උණ්ඩ 17ක්, පොයින්ට් 38 වර්ගයේ උණ්ඩ 8ක්, බෝර 12 වර්ගයේ පතොරම් 4ක්ද ඔවුන් සතුව තිබී සොයාගෙන තිබේ.
පොලීසිය පැවසුවේ ටී – 56 වර්ගයේ ගිනි අවියක්, ෂොට්ගන් එකක්, පිස්තෝල මැගසින් 1ක්, 9MM පතොරම් ගැබ් එකක්, අත් විලංගු 1ක්, සයිනඩ් කරල් 2ක් හා ජංගම දුරකථන 03ක් ද සොයාගත් බවය.
ත්‍රස්ත මර්දන කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතාගේ උපදෙස් මත සැකකරුවන් තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි.