ජනපතිවරණයට පසු පැවැත්වෙන මැතිවරණ ගැන ජනපති පවසයි

0
Ranil - ජනපතිවරණයට පසු පැවැත්වෙන මැතිවරණ ගැන ජනපති පවසයි

ජනපතිවරණයට පසු මහ මැතිවරණය ද ඉන්පසු පළාත් සභා මැතිවරණය ද පැවැත්විය යුතු බව ද ඉන් පසු පළාත් පාලන හා නගර සභා මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී අද පැවති නව ජනතා පෙරමුණේ ජාතික මහා සභාව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමිය නොහැකි බවත් එය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බවත් කීවේය.

මීට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වූවා නම් අද රට පවතින තත්ත්වය කෙසේ විය හැකි දැයි විමසන බව පැවසූ ජනාධිපතිවරයා තමා රට භාරගන්නා විට රටේ දළ දේශීය නිෂ්පාදන ආදායම පැවතියේ ඩොලර් බිලියන 76ක් බවත් එය ඩොලර් බිලියන 84 දක්වා ඉහළ නැංවූ බවත් පැවසීය.

ඒ මොහොතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වූවා නම් මෙලෙස ආර්ථිකය ශක්තිමත් කිරීමට නොහැකි වන බව ද කීවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ විදෙස් රටවල් සමග සාකච්ඡා කර ආර්ථිකය ගොඩනැගීමට බේතක් දුන් බවත් ඒ සඳහා මාස ,සති,දින සහ පැය ගණන පවා වැදගත් වූ බව සදහන් කළේය.

විපක්ෂය කළේ මැතිවරණ පවත්වන ලෙස නඩු දැමීම යැයිද නඩු දැමිය යුතුව තිබුණේ වැටුණු ආර්ථිකය යළි ගොඩ නංවන ලෙස ඉල්ලා යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අධිකරණය අද පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වෙත ලබා දී ඇති තීන්දුව වන්නේ එම මැතිවරණය සුදුසු කල්හි පැවත්වීමට කටයුතු කරන ලෙස බව කී ජනාධිපතිවරයා එම මැතිවරණය පැවැත්වීමට පෙර ඡන්ද නාම ලේඛනය ද වෙනස් කළ යුතු බව කීවේය.

මේ වන විට නව ඡන්ද නාම ලේඛන තුනක් ලැබී ඇති බවත් ඒවාද එක්කර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතුව ඇතැයිද සඳහන් කළේය.