මැතිවරණ වේදිකාවල ප්‍රකාශ ගැන IMF අවධානයෙන්

0
imf - මැතිවරණ වේදිකාවල ප්‍රකාශ ගැන IMF අවධානයෙන්

ශ්‍රී ලංකා රජය සමග ඇති කරගත් ගිවිසුම් පිළිබඳව ජනාධිපති ධුර අපේක්ෂකයන් මැතිවරණ වේදිකාවල කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානය යොමු කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්‍රෙවර්ගේ ප්‍රධානත්වයෙන් යුතු, ශ්‍රී ලංකාව නිරීක්ෂණය කරන නිරීක්ෂණ කණ්ඩායමක් මේ දිනවල මෙරටට පැමිණ ඇති අතර අදාළ නිරීක්ෂණ කණ්ඩායම විසින් මෙම ප්‍රකාශ පිළිබඳව අධ්‍යයනය කරමින් සිටියි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග ඇති කරගෙන තිබෙන ගිවිසුමට මානුෂික මෙහෙවරක් දෙන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසත්, එම ගිවිසුම තමන් වෙනස් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකත් පවසන්නේ, අදාළ නිරීක්ෂණ කණ්ඩායම මෙරට අධ්‍යයනයක නිරතව සිටින මේ අවස්ථාවේදීමය.

කෙසේ වෙතත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසන ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම වෙනස් කරන්නේ නම්, ඊළඟට මෙරටට ලැබීමට නියමිත එහි සිව්වැනි වාරිකය ලබා ගැනීම සඳහා තවත් වසරක පමණ කාලයක් ගත වෙනු ඇතැයි පැවසේ.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මේ වසරේ නොවැම්බර් මාසයේදී මෙරටට දීමට නියමිතව තිබූ සිව්වැනි වාරිකය ලබන ජනවාරි මාසය වන තෙක් ලැබීම ප්‍රමාද වනු ඇතැයි ද මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.

මේ අතර මහනුවර ජනාධිපති මන්දිරයේදී මෙම නිරීක්ෂණ කණ්ඩායම, පෙරේදා (19) රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා කර ඇති අතර මේ සතිය ඇතුළතදී අනෙක් ජනාධිපති ධුර අපේක්ෂකයන් ද හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ද පෙරේදා (19) රාත්‍රියේ සම්බන්ධ වී ඇති මෙම නිරීක්ෂණ කණ්ඩායම විසින්, පෙරහර නරඹන ජනතාව නිදහසේ සිය කටයුතුවල නිරත වන්නේද යන්න සම්බන්ධයෙනුත් අධ්‍යයනයක නිරත වී ඇත.