මොනරාගල දිස්ත්‍රික්කයේ පොහොට්ටු නිදහස් පක්ෂ UNP රොත්තම රනිල්ට නාමල් සමග ශෂේන්ද්‍ර තනිවේ

0
මොනරාගල දිස්ත්‍රික්ක

මොනරාගල දිස්ත්‍රික්කයේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කරති.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල සිලැන්රිච් හෝටලයේ පැවැති සාකච්ඡාවකදී එම පක්ෂවල මහජන නියෝජිතයෝ මෙම තීරණයට එළඹුණහ.

සාකච්ඡාව සඳහා මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 05න් 04 දෙනෙකු පැමිණ සිටියහ.

ඒ ජගත් පුෂ්පකුමාර, විජිත බේරුගොඩ, ගයාෂාන් නවනන්ද, කුමාරසිරි රත්නායක මන්ත්‍රීවරුයි.

පොහොට්ටුවේ මොනරාගල දිස්ත්‍රික් නායක ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා නාමල් රාජපක්ෂ මහතාට සහාය පළ කරයි.

මොණරාගල දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මොණරාගල දිස්ත්‍රීක් නායිකා හිටපු කැබිනට් ඇමති සුමේධා ජී. ජයසිංහ මහත්මියද රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ අවස්ථාවට එක් වූවාය.

මොනරාගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සංඛ්‍යාව 10කි. ඒ පළාත් පාලන ආයතන සියල්ලම ප්‍රාදේශීය සභාවේ. මොනරාගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජනය කරන පොහොට්ටුවේ සාමාජිකයන් 102ක්ම මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

මොනරාගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු හා ක්‍රියාකාරීන් 297 දෙනෙකු මෙම රැස්වීමට සහභාගී වී සිටියහ.

රැස්ව සිටි මොනරාගල දිස්ත්‍රික්කයේ සියළුම පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන පොහොට්ටු මහජන නියෝජිතයන් අත ඔසවා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවට ප්‍රතිඥා දුන්හ.

මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වටා අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වෙමින් තිබෙන බවයි.

රටට ආදරය කරන බොහෝ දෙනෙක් ඇතුළු බොහෝ පක්ෂ ඒ සඳහා සහාය දක්වන බව කී ඇමතිවරයා මෙවර මැතිවරණය කිසිවකුගේ පෞද්ගලික හෝ දේශපාලන ඕනෑ එපාකම් ඉටු කරන මැතිවරණයක් නොවන බවද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය,

“මේ දේශපාලන වේදිකාව අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වුණ එකක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන කණ්ඩායම් සියල්ලක්ම අද පැමිණ තියෙනවා. සියළු දෙනා එකතු වෙලා තමයි මේ මැතිවරණයට අපි මුහුණ දෙන්නේ. මේ මැතිවරණය විශේෂ වන්නේ මේක අපේ පෞද්ගලික හෝ දේශපාලන ඕනෑ එපාකම් ඉටු කරන මැතිවරණයක් නොවන නිසයි. රටට ආදරය කරන මිනිස්සු ඔක්කොම අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. අපි අතරේ ගැටළු තිබුණා. පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දෙන්න එපා කියලා මම ප්‍රසිද්ධියේ කිව්වා. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව වැඩ කරපු කණ්ඩායමයි. මම තරම් රනිල් වික්‍රමසිංහ මහත්තයට බැනපු කෙනෙක් නෑ. ඒත් අද අපි හැමෝම එක මතයකට ඇවිල්ලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජයග්‍රහණය කරවීමටයි.

2022 වනවිට අපි දේශපාලන වශයෙන් මූණ දීපු තත්ත්වය මුළු රටම දන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට එදා ජනාධිපතිකම භාර නොදුන්නා නම් මේ රට අද බංගලදේශයටත් වඩා හපන් වෙනවා. අද බංගලාදේශයේ වෙන දේ මාධ්‍ය හරහා ඔබ දකිනවා. බංගලාදේශයේ අද කැළෑ නීතිය රජ වෙලා තියෙනවා.

සාමන්‍ය රටක ප්‍රජාත්නත්‍රවාදය සුරක්ෂිත වෙනවිට විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය රැකුනොත් පමණයි. අපේ රටේ විධායකය විනාශ වුණා. ව්‍යවස්ථාදායකයට ගහලා ඉවර කළා. වාසනාවකට පාර්ලිමේන්තුව වටලන්න බැරි වුණා. අධිකරණවල සමහර නීතිඥවරු අත්පුඩි ගහලා පිස්සු කෙලියට අධිකරණය පාලනය වුණා. අවුරුදු දෙක හමාරක් යනකොට නැවත වතාවක් රට සාමන්‍ය තත්ත්වයට පත්වුණා. එදා මෙරට පාර්ලිමේන්තුව වටලන්න කතා කෙරුවේ ජනතා විමුක්ති පෙරමුණයි. මාලිමාවයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ දෙකක් නෙමෙයි එකක්. ප්‍රජාතන්ත්‍රවාදීව බලයට එන්න බැරිනම් මිනිස්සුන්ව මරලා, ගෙවල් ගිනි තියලා, රාජ්‍ය දේපල විනාශ කරලා හරි බලයට එන ක්‍රමයක් තමයි මේ අයට වුවමනා වුණේ. ඔවුන් 71, 83 කලු ජූලිය කළා.  88/89 ඔවුන් හැසිරුණ විදිය දන්නවා. දැනුත් ඔවුන් කරන්නේ ඒ දේමයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්වුණාට පස්සේ නීතිය හා සාමය ස්ථාපිත වුණා වගේම දේශපාලන ස්ථාවරයත් රැකුණා.

නැවත වරක් රනිල් වික්‍රමසිංහ මහතා බලයට ගේමූ කියන මතයේ ඉදන් අද මේ දේශපාලන ස්ථාවරයට අපි සියළු දෙනා ඇවිල්ලා ඉන්නේ. මගේ පරමාදර්ශී නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමයි. මම මහින්ද මහත්තයාට සහ බැසිල් රාජපක්ෂ මහත්තයාට කියලා තමයි මම මගේ ස්ථාවරයට ආවේ.

පොහොට්ටුව නැතිව අපිට මොකද වෙන්නේ කියලා අද බොහෝ දෙනෙක් අහනවා. අපි ඒ සඳහා වැඩපිළිවෙලක් හදලා තියෙනවා. පොහොට්ටුවේ 90% ක් ඉන්නේ අපිත් එක්කයි. මේ ගමන යන්න ඕනේ මිනිස්සුන්ගේ මතයට ගරු කරලයි. රටට වැඩක් කරන්න පුළුවන් ප්‍රායෝගික නායකයකුට දෙනවද? අලුත් අත්හදා බැලීමකට යනවද කියලා බලන්න පුළුවන්. අලුත් අත්හදා බැලීමකින් ලොකු භයානකකමක් ඇතිවෙන්න පුළුවන්. අත්හදා බැලීමකට ගියොත් වෙන්නේ බංගලාදේශයට එහා ගිය දෙයක්. ඒ නිසයි පොහොට්ටුවේ බහුතරයක් තීන්දු කළේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න. මේ වෙනකොට සංධානයක් හදන්න අපි වැඩපිළිවෙල හදලා ඉවරයි. පොහොට්ටුවේ අයගේ ආරක්ෂාව සඳහා වෙනම විකල්ප වැඩපිළිවෙලකුත් ක්‍රියාත්මක වෙනවා.