විකල්ප යෝජනා තිබේනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්චාවක් අරගෙන දෙන්නම් බොරු පොරොන්දු දීල රට ආයෙ අමාරුවෙ දාන්න එපා. – ජනපති

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

විකල්ප යෝජනා තිබේනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට එකතු වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සියලු දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමක් කළේය.එවැනි තීරණාත්මක සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මියට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කිරීමට තමා සූදානම් බව ද ඔහු කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවහොත් රටේ ආර්ථිකය ගැන විශ්වාස තැබිය නොහැකි බවද සදහන් කළේය. පොරොන්දු දේශපාලනයෙන් සිදුවූයේ රටේ ආර්ථිකය විනාශ වීම බවත් මැතිවරණයකට සූදානම් වෙනවානම් රට ගොඩනැගිය හැක්කේ කෙසේද යන්න පිළිබඳ සැලසුමක් සියලු දේශපාලන පක්ෂ වෙත තිබිය යුතු බව ද කීවේය.

”ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමට එකඟ ද, නැද්ද, ඊට සංශෝධන අවශ්‍ය ද කියා අප සියලු දෙනා එක්වෙලා සාකච්ඡා කරමු කියා මා පාර්ලිමේන්තුවේ සිටින සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කරනවා. අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කරන්න මම සූදානම්. අප සියලු දෙනා එකට වාඩි වී එතුමිය සමග සාකච්ඡා කරමු. වෙනස් අදහස් තිබෙනවා නම් කොහොම ද ඒක කරන්නේ? කියලා කියන්න. එම සංශෝධන හොඳ නම් මම ත් එය පිළිගන්නවා. ඒ වගේ ම දැන් ගිවිසුමක් තිබෙනවා. අප ඒ අනුව, කටයුතු කළ යුතු බව ත් සිහි තබා ගත යුතුයි”

ජාත්‍යන්තර රේගු දිනය සමරමින් කොළඹ රේගු මූලස්ථානයේදී අද පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.