රාජපක්ෂ කඳවුරේ ප්‍රබලයෙකු වූ ආන්දෝලනාත්මක චරිතය සනත් නිශාන්ත

0
සනත් නිශාන්ත

මෙරට දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක් මෙන්ම රාජපක්ෂ කඳවුරේ ප්‍රබලයෙකු වූ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා ඊයේ (ජනවාරි 25 වැනිදා) කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් විය.

රාජ්‍ය අමාත්‍යවරයාගේ මරණය සැලවීමත් සමග ඔහුගේ දේහය තැන්පත් කර තිබෙන රාගම ශික්ෂණ රෝහලට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් රැසක් පැමිණ සිටිනු දක්නට ලැබුණි.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහද රාජ්‍ය අමාත්‍යවරයා තාවකාලිකව පදිංචිව සිටි කොළඹ නිවස වෙත ගොස් බිරිඳ ඇතුළු පවුලේ සමාජිකයින් හමුවේ සිය ශෝකය පළ කර සිටියේය.

දේශපාලන වේදිකාවේදී මෙන්ම ඉන් පිටදිත් සිදුකළ විවිධ ප්‍රකාශ හේතුවෙන් සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට පක්ෂව මෙන්ම විපක්ෂව ජනමතයක් ගොඩනැගී තිබුණි.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ නිවසට අද (25) දහවල් පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුගේ පවුලේ ඥාතීන් හමු විය.
ඡායාරූප ශීර්ෂ වැකිය,රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ නිවසට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුගේ පවුලේ ඥාතීන් හමු විය.

කවුද මේ සනත් නිශාන්ත කියන්නේ ?

1973 වර්ෂයේ මැයි මස 3 වැනිදා උපත ලැබු සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා අධ්‍යාපනය හදාරා ඇත්තේ හලාවත සාන්ත මරියා විදුහලෙනි.

ව්‍යාපාරිකයෙකු වන ඔහුට සහෝදරයින් දෙදෙනෙක් සහ එක් සහෝදරියක් සිටියි.

විවාහකයෙකු වන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත දරුවන් සිව්දෙනෙකුගේ පියෙකි.

සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ වෘත්තියෙන් නීතිඥවරියක් වේ.

සනත් නිශාන්තගේ දේශපාලන දිවිය

සනත් නිශාන්ත ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභිකයෙක් ලෙස දේශපාලනයට පිවිසියේ 1998 වසරේදීයි.

2015 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පුත්තලම දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග වැදුණු සනත් නිශාන්ත පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වුයේ මනාප ඡන්ද 68,240ක් ලබා ගනිමිනි.

ඒ, දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගත් අපේක්ෂකයා බවට පත්වෙමිනි.

2020 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ද සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගත් අපේක්ෂකයා බවට පත්විය.

එම මැතිවරණයේදී සනත් නිශාන්ත ලබා ගත් මනාප සංඛ්‍යාව 80,082ක් විය.

සුළු වාරිමාර්ග හා ගොවිජන සංවර්ධන අමාත්‍ය, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සහ ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය යන තනතුරු ඔහු විසින් හොඹවනු ලැබ තිබේ.

ඔහු ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජිකයෙකු ද විය.

2020 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ද සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගත් අපේක්ෂකයා බවට පත්විය.
ඡායාරූප ශීර්ෂ වැකිය,2020 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ද සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගත් අපේක්ෂකයා බවට පත්විය.

අත්අඩංගුවට ගැනීම් සහ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

දේශපාලන වේදිකාවේ මෙන්ම සමාජයේ වඩාත් කතාබහට ලක්වු චරිතයක් වූ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට අවස්ථා රැසකදී අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවිය.

2008 වසරේ නොවැම්බර් මස 24 වැනිදා එවකට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් වරයාව සිටි ධනසේන සුරසිංහට පහර දීම, රාජකාරියට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය සහ නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම යන චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ ඔහුගේ සහෝදරයාට එරෙහිව නඩු පවරනු ලැබ තිබුණි.

2015 ජනාධිපතිවරණ මැතිවරණ සමයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරග කළ මෛත්‍රිපාල සිරිසේන ගේ ආනමඩුව කාර්යාලයට පහර දී පුද්ගලයෙකුට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එවකට වයඹ පළාත් ධීවර, කෘෂිකර්ම, සහ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සනත් නිශාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.

2022 වසරේ මැයි මස 9 වැනි දින ගෝඨාගෝගම සහ මයිනාගෝගම අරගල භූමිය වෙත පහරදීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කළ බව කියන චෝදනා සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරා ඇත.

මෙරට දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක් මෙන්ම රාජපක්ෂ කඳවුරේ ප්‍රබලයෙකු වූ ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා අද (ජනවාරි 25 වැනිදා) කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් විය.

නිවසට ගිනි තැබීම

2022 වසරේ මැයි මාසයේදී පැවති අරගල සමයේදී හලාවත පිහිටි සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ගේ නිවසට ද ගිනි තබා විනාශ කෙරුණි.

ඒ අනුව ඔහු තාවකාලිව පදිංචිව සිටියේ කොළඹ පිහිටි නිවසකය.

අරගල සමයේදී හලාවත පිහිටි සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ගේ නිවස ද ගිනි තබා විනාශ කෙරුණි.

ආන්දෝලනාත්මක සිදුවීම්

සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ නම මෙරට ජනතාව අතර වඩාත් ප්‍රසිද්ධියට පත්වුයේ ගම්පහ අඩවි වන නිලධාරිනි දේවානි ජයතිලක සමග මීගමුව කඩොලාන කලාපය සම්බන්ධයෙන් ඇතිවූ සංවාදය හේතුවෙනි.

එය සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත වුයේ ‘ඔක්සිජන්’ විවාදය ලෙසයි.

මිගමුව වෙරළ තීරය ආසන්නයේ වූ කඩොලාන රක්ෂිතයක වොලිබෝල් පිටියක් ඉදිකිරීමේ සුදානමක් සම්බන්ධයෙන් ඇතිවූ සංවාදය අවසානයේ දී රාජ්‍ය අමාත්‍යවරයාට ‘ඔක්සිජන්’ යන අන්වර්ථ නාමයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ එක් කර තිබුණි.

එමෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ ආනවිලුන්දාවේ පිහිටි රැම්සාර් තෙත් භුමියේ ඉස්සන් කොටුවක් ඉදිකිරිම සඳහා අක්කරයක පමණ භුමි භාගයක් ඩෝසර් කිරීමේ සිද්ධියට ද සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ල විය.

එම සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ සහෝදරයා වන ජගත් සමන්ත අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.

සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ නම මෙරට ජනතාව අතර වඩාත් ප්‍රසිද්ධියට පත්වුයේ ගම්පහ අඩවි වන නිලධාරිනි දේවානි ජයතිලක සමග මීගමුව කඩොලාන කලාපය සම්බන්ධයෙන් ඇතිවූ සංවාදය හේතුවෙනි.
ඡායාරූප ශීර්ෂ වැකිය,සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ නම මෙරට ජනතාව අතර වඩාත් ප්‍රසිද්ධියට පත්වුයේ ගම්පහ අඩවි වන නිලධාරිනි දේවානි ජයතිලක සමග මීගමුව කඩොලාන කලාපය සම්බන්ධයෙන් ඇතිවූ සංවාදය හේතුවෙනි.

මේක පළමු අනතුර නොවේ

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් කළ මෝටර් රථය මීට පෙර අවස්ථා කිහිපයකදී ද අනතුරුවලට ලක්ව තිබේ.

පසුගිය වසරේ දෙසැම්බර් මස 29 වැනිදා මාරවිල ප්‍රදේශයේදී සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ගමන් කරමින් තිබු මෝටර් රථය තවත් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවිය.

2022 වසරේ පුත්තලම – කුරුණෑගල මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍යවරයාගේ රථයේ ගැටීමෙන් දෙදරු පියෙකු කුරුණෑගල රෝහලේදී මරණයට පත්වුයේ අනතුර සිදුවී දින 15 කට පසුවය.

මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විදුලිබිල ගෙවීම

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සම්බන්ධයෙන් නැවත වරක් මෙරට සමාජයේ කතාබහට ලක්වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ මංගල උත්සවයට අදාළ විදුලි බිලක් ගෙවීම නිසාවෙනි.

2019 වසරේ පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගේ මංගල උත්සවයට විදුලිය සැපයීම වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවීමට තිබූ රුපියල් ලක්‍ෂ 26 කට අධික බිල රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විසින් ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස 02 වැනිදා ගෙවනු ලැබීය.

රාජ්‍ය ඇමතිට ජනතා විරෝධයක් එල්ල වුනාද ?

පුත්තලම, කල්පිටිය ප්‍රදේශයේ පිහිටි ගම්මානයක මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් වූ සාකච්ජාවකට සහභාගී වීමට ගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට ගම්වාසීන් විසින් විරෝධය පළ කළ බවට පුවතක් පසුගිය සතියේදී ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

පළවූ එම මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් රාජ්‍ය අමාත්‍යවරයා විසින් පසුගියදා මාධ්‍ය හමුවක්ද පවත්වන ලදී.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තමන්ට කිසිදු අවස්ථාවක ගම්වාසීන්ගෙන් විරෝධතාවයක් එල්ල නොවූ බවය.

එම සිදුවීම ගම්මානයේ දෙපිරිසක් අතර ඇතිවූ සිදුවීමක් බවත් එය තමන් සම්බන්ධයෙන් බවට ඇතැම් මාධ්‍ය සත්‍ය විකෘති කරමින් පුවත් පළකර තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

BBC News