සිය පළමු පදවිප්‍රාප්තිය ට උත්සව අනවශ්‍ය බව ජනපති දන්වයි

0

පදවිප්‍රාප්තිය

තම පදවිප්‍රාප්තිය වෙනුවෙන් කිසිදු උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ජනාධිපති පදවිප්‍රාප්තිය වෙනුවෙන් උත්සව සංවිධානය කිරීම සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් සිදුකළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනි.

එළැඹෙන 21 වැනිදාට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වී වසරක් සම්පුර්ණ වීමට නියමිතය.

පසුගිය වසරේ ජුලි මස 20 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකදී ජන්ද 134ක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වූ අතර, ජුලි මස 21 වැනිදා ඒ මහතා මෙරට අට වන ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ලැබීය.

රජයට සහ ජනාධිපතිවරයාට හිතවත් පාර්ශව පෙන්වා දී ඇත්තේ, පත්ව තිබූ අරාජිකත්වයෙන් රට සාමාන්‍යකරණයකට පත් කර ඇති හෙයින් පදවිප්‍රාප්ති උත්සවයක් සංවිධානය කළ යුතු බවයි.

කෙසේ වෙතත් කිසිදු මහජන මුදලක් හෝ පෞද්ගලික මුදලක් වැය කොට පදවිප්‍රාප්ති උත්සවයක් සංවිධානය කිරීම අවශ්‍ය නොවන බව ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

මේ අතර, පදවිප්‍රාප්ත දිනය යෙදී ඇති ලබන 21 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ඉන්දියාවට යාමට නියමිතයි.