ජනාධිපති පුටුවට යන්නට නම් පලමුව රට ගොඩනගන්න සහය දෙන්න. ජනපති විපක්ෂ නායකයාට කියයි

0

ජනාධිපති පුටුවට යන්නට

රට ගොඩනැගීමට ආණ්ඩුව ගන්නා වෑයමට සහය දක්වන්නැයි තමා විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සියලු මන්ත්‍රීවරුන්ගෙන් නැවතත් ඉල්ලා සිටින බව ත් එසේ වුවහොත් තමා බලාපොරොත්තු වන ආකාරයට ජනාධිපති පුටුවට යන්නට විපක්ෂ නායකවරයාට හැකිවනු ඇති බව ත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (ජූලි 3) පැවසීය.

රට වැටුණු තැනින් ගොඩගත් පසු විපක්ෂ නායකවරයාට ජනාධිපති පුටුව දක්වා යාමේ ගමනට තමා ද සහය වන බව ත් ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

දේශීය ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් විපක්ෂය නැගූ සියලු චෝදනා මේ වනවිට අසත්‍ය වී ඇති බව කී හෙතෙම රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට තමන් ද දායක වූ බව පෙන්වාදෙමින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව ලබා ගැනීමට විපක්ෂය ක්‍රියා කළ යුතු බව පැවසීය.

වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ දේශපාලන දිවියට වසර 32ක් සපිරීම නිමිත්තෙන් ඒ මහතා වෙත හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ උපහාරය පුද කරමින් ඊයේ (ජූලි 3) පෙරවරුවේ හම්බන්තොට මාගම් රුහුණු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “අමරවිරු අභිමන් 32” උපහාර උත්සවය අමතමිනි.

“අමරවිරු අභිමන් 32” සමරු කලාපය ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය නංවාලීම උදෙසා සහාය ලබාදුන් අයට සහ ගොවි ජනතාවට උපහාර තිළිණ පිළිගැන්වීම, ශිෂ්‍යත්ව විභාගයෙන්, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් සහ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ සහ විශිෂ්ට ක්‍රීඩා කුසලතා දැක්වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිසු සිසුවියන් වෙනුවෙන් තිළිණ ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සංකේතාත්මකව සිදුවිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ උපහාරය පිළිගන්වමින් අමාත්‍ය මහින්ද අමරවීර විසින් ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක් පිළිගන්වන ලද අතර අමාත්‍ය මහින්ද අමරවීර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙවර අගයමින් ජනාධිපතිවරයා අතින් ඒ මහතා වෙත ද උපහාර තිළිණයක් පිළිගැන්විණි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

“සිය දේශපාලන ජීවිතයෙහි වසර 32ක් සහ වසර 28ක පාර්ලිමේන්තු දිවිය තුළ මහින්ද අමරවීර මහතා මේ රටේ ජනතාව වෙනුවෙන් සුවිශේෂී සේවාවක් ඉටු කරමින් සිටිනවා. පළමුව අප එතුමාට ප්‍රශංසාව පිරිනැමිය යුතුයි. එතුමා අත්දැකීම් රැසක් ඇති පරිණත දේශපාලනඥයෙක්. එක් එක් යුගවල පක්ෂයේ සහ විපක්ෂයේ සාමාජිකයන් ලෙස අප එක්ව කටයුතු කළ අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සමයේ එක ආණ්ඩුවක කටයුතු කිරීමට අපට අවස්ථාව ලැබුණා.

ඉන්පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ අගමැති ධූරය දරන සමයේ ද මම ප්‍රකාශ කළේ මේ සියලු දෙනා එක්කරගෙන ඉදිරියට යා යුතු බව යි.

ගෝඨාභය රාජපක්ෂ මහතා 2022 වසරේදී පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන්ට ජනාධිපති මන්දිරයට ආරාධනා කළා.

අවාසනාවකට සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ එය වර්ජනය කළා. මමත්, ආර්. සම්පන්දන් මහතා සහ මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ සඳහා සහභාගි වූ අතර මෙම ප්‍රශ්නය විසඳන්නේ කෙසේ ද කියා අප සාකච්ඡා කළා.

කෙසේ වෙතත් මැයි 9දා සිදුවීමෙන් පසු අප මේ සියලුදෙනා එක් කර ගැනීමට උත්සහ කළා. අග්‍රාමාත්‍ය ධූරය භාර නොගත්තත් මේ වැඩකටයුතු සඳහා සමගි ජන බලවේගය සම්බන්ධවෙයි කියා අප බලාපොරොත්තු වුවත් ඔවුන් ඊට එක් වුණේ නැහැ. එතැන් සිට තමයි මේ ආණ්ඩුව හදාගෙන අප වැඩකටයුතු ආරම්භ කළේ.

මම ජනාධිපතිවරයා ලෙසත්, දිනේෂ් ගුණවර්ධන මහතා අගමැතිවරයා ලෙසත් පත්කරගත් කැබිනට් මණ්ඩලයේ කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ වගකීම මහින්ද අමරවීර මහතාට ලබා දුන්නා. එතුමා කෘෂිකර්ම ඇමැති වුණේ කෘෂිකර්මයක් සහ ආර්ථිකයක් නැති රටක. නමුත් එතුමා සමග මේ රටේ කෘෂිකර්මාන්ත නැවත ඉදිරියට ගෙන ඒමට අපට හැකියාව ලැබුණා.

2023 සිංහල අවුරුද්දට පෙර හොඳ අස්වැන්නක් ලබාගැනීමේ වැඩපිළිවෙළ අප ආරම්භ කළා. ආහාර සුරක්ෂිතතාව සඳහා කමිටු පත් කළා. ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලු දෙනාට ඊට සහභාගි වන ලෙස ආරාධනා කළා. නමුත් විපක්ෂය ඊට සහභාගි වුණේ නැහැ. අවසානයේ අස්වැන්නේ අතිරික්තයක් ලැබුණු විට අදාළ කමිටුවල සභාපතිවරුන් ජනතාවට සහල් බෙදා දීමට පටන් ගත්තා. එවිට තමයි තමන්ට මීට සහභාගී වීමට අවස්ථාව නොලැබීම පිළිබඳ විපක්ෂයේ මන්ත්‍රීවරු කනගාටු වුණේ.

එම කටයුතු වෙනුවෙන් කැපවී කටයුතු කළ මහින්ද අමරවීර මැතිතුමාට සහ එම නිලධාරීන්ට ස්තූතිවන්ත විය යුතුයි. අපි කඩිනමින් ගොවි ජනතාවට අවශ්‍ය පොහොර සම්පාදනය කර ගත්තා. එදා අපි කිව්වේ ගෙනෙන පොහොර නැවෙන් කුඹුරට කියලා. පොහොර ටික ලැබුණු ගමන් ඒවා ගොවි ජනතාවට බෙදා දුන්නා. මේ තුළින් ආහාර සුරක්ෂිතතාව ඇති කර දිළිඳු ජනතාවට සහන ලබා දීමට අපට හැකිවුණා.

අප දැන් කෘෂිකර්මාන්තය දියුණු කළ යුතු අතර විශේෂයෙන් ම අපනයන ඉලක්ක කරගත් කෘෂිකර්මාන්තයක් රට තුළ ගොඩනැගිය යුතු යි. අප මෙතෙක් කටයුතු කළේ අපට අවශ්‍ය ආහාර බෝග වගා කිරීමට යි. අප දැන් ලෝකයට අවශ්‍ය ආහාර වගා කළ යුතුයි. ඒ සඳහා කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ විශාල වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ වගේ ම බිත්තර සහ කුකුළු මස් අපනයනය කළ යුතුයි. අපට මෙය තනිව සිදු කළ නොහැකියි. එසේනම් රජය සහ පෞද්ගලික අංශය එක්ව මේ වැඩසටහන් ඉදිරියට ගෙන යා යුතුයි.”

මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා

“කිසිවෙකු රටේ වගකීම භාර නොගත් අභියෝගාත්මක අවස්ථාවක එම වගකීම භාර ගනු ලැබුවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යි. පෝලිම්වල ජනතාව මිය ගිය, ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ටික සපයා දිය නොහැකිව තිබූ මේ රට යළි කිසිවකුට ගොඩගන්න බැහැ කියා එදා ඇතැමුන් ප්‍රකාශ කළා.

නමුත් රට වෙනුවෙන් එම වගකීම භාරගත් නායකයාට එම අභියෝගය ජය ගැනීමට අප සියලු දෙනා සහාය දිය යුතුයි යන චේතනාවෙන් යුතුව මම කෘෂිකර්ම අමාත්‍ය ධූරය භාරගත්තා. ඒ වන විටත් ගොවි බිමෙන් අෑත්ව සිටි ගොවියා යළිත් කෙටි කලක් තුළ ගොවිබිමට සමීප කරවීමට ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ගෙන ගිය වැඩපිළිවෙළ හේතු වූ බව කිවයුතුයි.

ගොවි ජනතාවට ප්‍රමාදයකින් තොරව අවශ්‍ය පරිදි පොහොර ලබාදීමට අප කටයුතු කර තිබෙනවා ඉදිරි කන්නයේ දී අවශ්‍ය පොහොර වර්ග 3 ම නිසි වේලාවට ලබා දීමට කටයුතු සැලසුම් කර තිබෙන අතර සෑම ප්‍රදේශයක ම ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට එමඟින් හැකියාව ලැබෙනවා. ඒ වගේ ම කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඉතා කෙටි කළක් තුළ මෙරට කෘෂිකර්මාන්තයේ නවෝදයක් ඇති කිරීමට හැකියාව ලැබෙනවා.

මීට වසරකට පෙර මේ රටේ ජනතාව පැවසුවේ පාර්ලිමේන්තුවේ 225 දෙනා ම එපා කියලයි. මන්ත්‍රීවරුන්ට පාරට බහින්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් අද ඇතැමුන්ට මෙය අමතක වී තිබෙනවා. ඒ නිසා නැවත රට තුළ එවන් තත්ත්වයක් ඇති නොවීමට නම් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට සියලුදෙනා සහය දිය යුතු බව අවධාරණය කළ යුතුයි.

වසරක් තුළ රට මේ තත්ත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයාට හැකියාව ලැබුණා නම් මේ රට සංවර්ධනය කර ඉදිරියට ගෙන යා හැකි එකම නායකත්වය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව මේ රටේ ජනතාව මේ වන විට සහතික කර අවසන් බව කිව යුතුයි.”