ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 204කට සීමාවේ

0
SL vs WI second Test Match in Galle - ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 204කට සීමාවේ
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවන දිනයවූ අද (30) ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා දිවා භෝජනයට පෙර දැවීගියේය.

ඔවුන්ට රැස්කළ හැකිවූයේ ලකුණු 204ක් පමණි.

ඊයේ තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 113ක් රැස්කර ගෙන සිටියේය.

අද දිනයේ පළමු කඩුල්ල ලෙස ඕෂධ ප්‍රනාන්දු ලකුණු 18කට දැවී ගියේය. එවිට ලකුණු පුවරුව සඳහන් වූයේ 139ක් ලෙසය.

ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 73කට දැවී ගියේය.

පන්දුවට පහරදෙමින් සිටියදී ඇන්ජලෝ මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්වීම ශ්‍රී ලංකා ඉනිම අඩාල කිරීමට හේතු විය.

තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩාකරන චරිත් අසලංක රැස්කළේ ලකුණු 10ක් පමණි.

මැතිව්ස් ලකුණු 29යි.

පන්දු යැවීමේදී කොදෙව් දඟ පන්දුයවන්නෝ වැඩි දස්කම් දැක්වුහ. දැවීගිය කඩුලු 10න් 9ක්ම දවා ගත්තේ වීරසාමි පර්මෝල් සහ ජෝමෙල් වරිකන් විසිනි.

පර්මෝල් වසර 6 කට පසුව ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරමින් සිය ටෙස්ට් දිවියේ පළමු කඩුලු 5 දවා ගත්තේ ලකුණු 35කටය. ජෝමෙල් වරිකන් ලකුණු 50කට කඩුලු 4යි.