දකුණු අප්‍රිකාවට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

0
SL vs SA 1st ODI - දකුණු අප්‍රිකාවට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 14ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (02) සමත්වුනා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 300ක් රැස් කළා.

සිය තුන්වන එක්දින ශතකය රැස් කළ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 118ක් ලබාගත්තා.

මිනෝද් භානුක ලකුණු 27යි. ධනංජය ද සිල්වා ලකුණු 44ක් සහ චරිත් අසලංක ලකුණු 72ක් රැස් කළා.

පන්දු යැවීමේදී කාගිසෝ රබාඩා සහ කේශව් මහරාජ් කඩුලු දෙක බැගින් බිඳහෙලුවා.

ඒ අනුව තරගය ජය ගැනීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 301ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 286ක් පමණයි.

පන්දු යැවීමේදී අකිල ධනංජය කඩුලු දෙකක් බිඳහෙලුවා.

මෙම තරගයේ වීරයා සම්මානය අවිශ්ක ප්‍රනාන්දුට හිමිවුනා.

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය හෙට (04) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.