
ජිනීවාහි පැවැත්වෙන ලෝක වෙළඳ සංවිධා සමුළුව සඳහා තම මහජන සම්බන්ධතා නිලධාරිනිය එක්වීම පිළිබඳව එවැනි සමුළු පිළිබඳ අවබෝධයක් නොමැති විපක්ෂය බාල මට්ටමින් ප්‍රශ්න කරමින් ඇතැයි වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
“ජිනීවාහි තියෙන, ලෝක වෙළඳ සංවිධානයේ අවුරුදු පහෙන් පහට පවත්වන ට්‍රේඩ් පොලිසි රිවීව් – වෙළඳ ප්‍රතිපත්ති සමාලෝචන සාකච්ඡාව තියෙනවා ලබන 14 වෙනිදා සිට 17 වෙනිදා දක්වා දවස් 3ක්. ඒ 14 වෙනිදා ඉඳන් 17 වෙනිදා වෙනකල් දවස් තුන ඇතුළත තියෙන මේ වෙළඳ ප්‍රතිපත්ති සාකච්ඡාවට වෙළඳ අමාත්‍යාංශය යටතේ තියෙන වාණිජ දෙපාර්තමේන්තුවත්, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, රේගුව, ආයෝජන මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක් සහභාගී වෙනවා. ඒ සහභාගී වෙන්නෙ වෙළඳ ප්‍රතිපත්ති සාකච්ඡාවට. එහෙම නැතිව සංචාරයක් නෙවෙයි.
ඒ සාකච්ඡාවට යන්න කලින්ම මේ වෙනකොට ලංකාව අනුගමනය කරපු වෙළඳ ප්‍රතිපත්ති මත ඇතිවෙච්ච ප්‍රශ්න 245ක් එවලා තියෙනවා. මේ ප්‍රශ්න 245ටම ඒ දවස් තුනේ උත්තර දෙන්න ඕනෙ මේ යන නිලධාරීන්. මේ දවස් තුනේ. ඒ විතරක් නෙවෙයි, ප්‍රශ්නවලට උත්තර දෙන ගමන් ලංකාවේ කන්ටෑක්ට් පොයින්ට් එකක් තියලා යන්න ඕනෙ සාකච්ඡාව යන අතරතුර – ටෙක්නිකල් ඩිස්කශන් මේවා, තාක්ෂණික සාකච්ඡා – අපි දෙන උත්තරයකට සෑහීමකට පත්වෙන්නෙ නැතුව ආපහු සාකච්ඡා කරලා ප්‍රශ්න අහනවා, ආපහු ලංකාවත් එක්ක කතා කරලා නැවත උත්තර දෙන්න ඕනෙ.
එවැනි සාකච්ඡාවක් පිළිබඳව අවබෝධයක් නැතිව ඉතාම පහත් මට්ටමේ – ඉස්කෝලෙ නොගියා කියලා කියන්න යන්නෙ නෑ මං – බොහෝ විපක්ෂයේ මන්ත්‍රීවරු මේ පිළිබඳව මතුකරන කතාව විපක්ෂයේ සමහර සමාජ මාධ්‍යවල යවලා තියෙනවා, ඒ පිළිබඳව අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්න එක ගන්නවා. මොකද මේ කතාව ඇතුළෙ උත්සාහ කරනවා ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පිළිබඳව ඉතාම ලාබ, ඉතාම බාල තත්වයේ ඒවා, එහෙම ඒවා නෙවෙයි. මොකද රටක් හැටියට රට නියෝජනය කරමින් ජාත්‍යන්තරය ඇතුළෙ ඒ අවශ්‍ය කටයුතු ටික අපි කරනවා. ඒ නිසා ඒ කටයුත්ත කරගෙන ආණ්ඩුව ඒ ගමන යනකොට විපක්ෂයේ අයට ටිකක් අමාරු ඇති, ඒක එහෙම තමයි.”
අමාත්‍ය වසන්ත සමරසිංහ මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා CID යයි
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයාට සහ ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරීනියට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය තුළ ව්‍යාජ සහ විකෘති කළ පුවත් පළ කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් යොමු කර තිබේ.
මෙම පැමිණිල්ල (පැමිණිලි අංක 20039516 යටතේ) 2025/10/09 දින යොමු කර ඇති අතර , අදාළ ෆේස්බුක් පිටු, වෙබ් අඩවි සහ මෙම මාධ්‍ය හසුරුවන පුද්ගලයින් පිළිබඳව විමර්ශනයක් සිදු කර නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ඇත.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ එතුමාගේ මහජන සම්බන්ධතා නිලධාරීනි නිමෝදි වික්‍රමසිංහ යන අය මෙම අසත්‍ය ප්‍රවෘත්ති මගින් ඉලක්ක කර ඇත.
මෙම ප්‍රවෘත්ති හේතුවෙන් ඔවුන්ගේ පුද්ගලික ජීවිත වලට, පවුල් ජීවිතයට, වෘත්තීය ජීවිතයට සහ දරුවන්ගේ ජීවිත වලට මෙන්ම අමාත්‍යවරයාගේ දේශපාලන චරිතයට හානි වන අයුරින් අසත්‍ය ප්‍රවෘත්ති, සකස් කරන ලද ඡායාරූප, පළ කිරීම් සහ සටහන් සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වෙමින් පවතින බව සඳහන් වේ.
අමාත්‍යවරයා සහ මහජන සම්බන්ධතා නිලධාරිණිය අතර අනියම් සබඳතාවක් පවතින්නේ යැයි සඳහන් කරමින් අභූත චෝදනා නගමින් මෙම ප්‍රචාරණය සිදු වන අතර, එමඟින් ඔවුන්ගේ ජීවිතවලට දැඩි බලපෑමක් ඇති වන බව දන්වා ඇත.
ව්‍යාජ පුවත් සහ විකෘති කළ පුවත් පළ කිරීම දිගින් දිගටම සිදු කරන බැවින්, අදාළ ෆේස්බුක් පිටු, වෙබ් අඩවි සහ පුද්ගලයින් පිළිබඳව විමර්ශනයක් සිදු කර නීතිමය පියවර ගන්නා ලෙස මාධ්‍ය ලේකම් සමීර ප්‍රභාෂ් විජේසිංහ මහතා විසින් ඉල්ලා සිටී. මෙම පැමිණිලි සමඟ ව්‍යාජ පුවත් වලට අදාළ සමාජ මාධ්‍ය සබැඳි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබේ.
පහත සඳහන් සමාජ මාධ්‍ය ගිණුම් හිමි පුද්ගලයින් සහ පිටු පිළිබඳව තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත:
පුද්ගලයින්:
- Nimantha Perera
- Dumindu Jayasuriya
- K.W. Padmasiri
- Manjula Perera
- Rannu Jazze
- Thushari pathiraja
- Palitha Dewasiri
- Rasika Vikumpriya
- Fernando Inoka
- ගම්පහ පොදු ජන හඬ
