වෙළඳ ඇමති බන්දුල ගෙන් අභියෝගයක්

0
Bandula Gunawardena Statement of Garlic Fraud - වෙළඳ ඇමති බන්දුල ගෙන් අභියෝගයක්
සුදු ලූනු වංචාවට තමන් සම්බන්ධ බවට ඔප්පුකළහොත් සිය දේශපාලන දිවියෙන් සමුගන්නා බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කොළඹදී ඊයේ (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පාරිභෝගික ද්‍රව්‍යවල මිල ඉහළයාම පිළිබඳව ද අදහස් පළ කළේය.

මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා,

“පාරිභෝගික කටයුතු අධිකාරියට දේශපාලන පත්වීමක් ලැබූ තැනැත්තෙක් සතොස සුදු ලූනු වංචාව සම්බන්ධයෙන් මම සම්බන්ධ බවට ඉතා විශාල අභූත චෝදනාවක් එල්ල කිරීමෙන් පසු මට සිද්ධ වෙලා තියෙනවා මගේ විෂය පථයේ කරුණු හැර වෙනත් කිසිදු කරුණක් වෙනුවෙන් මෙම පරීක්ෂණය අවසන් වෙන තෙක් කිසිවක් කියන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ. මට අද වෙනකල් සාධාරණයක් ඉටුවෙලා නෑ. දැනට වංචාවට සම්බන්ධ අය පෑලියගොඩ පොලීසිය මඟින් පරීක්ෂණවලට ගෙනියලා සමහරු බන්ධනාගාර ගත කරලා ඇප දීලා තියෙනවා. යම් කිසි ආකාරයකින් නූල් පොටකින් හරි, හොරකමකට, වංචාවකට, දුෂණයකට හෝ අක්‍රමිකතාවයකට සුදු ලූනු වංචාවට මම සම්බන්ධ යැයි ඔප්පු කළොත්.ඒ සැණින් මම පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් හා අමාත්‍යධූරයෙන් ඉවත්වන අතර, සදහට ම ලාංකීය දේශපාලනයට සමුගැනීම මගේ බලාපොරොත්තුවයි.”

මේ අතර තම කීර්ති නාමයට හා දේශපාලන ජීවිතයට හානි සිදු කළේ යැයි පවසමින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලමින් ධුරයෙන් ඉල්ලා අස් වූ හිටපු පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික තුෂාන් ගුණවර්ධන මහතාට ලිපියක් යවා තිබේ.

අමාත්‍යවරයා එමගින් සඳහන් කර ඇත්තේ සුදු ලූනු ආනයනය හා බෙදාහැරීමේදී වංචාවක් සිදුවී ඇතැයි ඔහු විසින් පැවසීම හේතුවෙන් තම කීර්ති නාමයට හා දේශපාලන ජීවිතයට හානියක් සිදු වී ඇති බවයි.

එම මුදල ගෙවීමට අපොහොසත් වන්නේ නම් එය අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ලිපියේ සඳහන් වෙයි.