
ත්‍රිකුණාමලයේ විහාරස්ථාන භූමියක තැන්පත් කර තිබූ බුද්ධප්‍රතිමාවක් ඉවත් කිරීමට පොලීසිය පියවර ගැනීමේ දී පොලීසිය අතින් යම් වරදක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකර අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (18) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, සිදුවීම්දාමයක එක් තැනකින් වෙන්කර එතැන් සිට ප්‍රශ්න කිරීමේ දී අදාළ සිදුවීම සම්බන්ධයෙන් යම් විකෘති ස්වභාවයක් ඇති විය හැකි බවය.
“අලුත් අලුත් සිදුවීම් අවශ්‍ය නෑ…බුදුපිළිම වහන්සේට හානි කිරීමම මේ රටේ දැවැන්ත ලේ වැගිරීම්වලට යන්න පුළුවන්…ඒකට අවස්ථාව පාදන්න එපා…ඒකට පෙට්‍රල් දාලා අවුළුවන්න එපා.” යනුවෙන් ද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.
මේ අතර අදාළ සිදුවීමේ දී ස්වාමීන් වහන්සේලාට පොලීසිය විසින් සිදුකර ඇති පහරදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,
“පොලීසිය ඉන්නේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න. කිසිසේත්ම කවර හෝ සිදුවීමක් පදනම් කරගෙන රටේ නීතිය කඩවෙන ආකාරයට හෝ සාමය කඩවෙන ආකාරයේ කටයුතුවලට පොලීසිය ඉඩදෙන්නේ නෑ. තාවකාලිකව ආපන ශාලාවක් ඉදිකිරීමට කෙටි කාලීන අවසරයක් ලබාදීලා තිබුණා යම් යම් නිර්ණායකයන් සහිතව. එය කඩා ඉවත් කිරීමේ නියෝගයක් පවතිනවා. ඒ අතරතුරේ තමා බුදුපිළිම වහන්සේ මෙතැනට වැඩම කරවලා තියෙන්නේ.
අපේ රටේ ඉතිහාසයකුත් තියෙනවා බුදුම පිළිම වහන්සේ නමකට හානි කළ පසු ඒ තුළින් ඇති වන ජාතිවාදී කෝලාහලය කොතරම් දුරදිග යන්න පුළුවන් ද කියන එක. ඒ නිසා ඒ ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට හා බුදුපිළිම වහන්සේගේ ආරක්ෂාව සැපයීම පොලීසියෙන් කළා.
ඊළඟ නඩු දිනය පැවැත්වෙනවා නොවැම්බර් මස 26 වන දින ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේ දී. පොලීසිය විසින් වාර්තා කරන ලද කරුණු අනුව මහෙස්ත්‍රාත්වරයා විසින් සියලු සාක්ෂි සටහන් කර ගැනීමටත් ඕනෑම පාර්ශ්වයක ඉදිරිපත් කර ඇති ලිපිලේඛනවල අනන්‍යතාවය තහවුරු කරගැනීමටත් 2025.11.26 දින දක්වා කිසිදු ආකාරයක නව ඉදිකිරීමක් නොකරන ලෙසටත් අධිකරණය විසින් කරුණු ඉදිරපත් කර තිබෙනවා. ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරගැනීමට පොලීසිය හා විශේෂ කාර්ය බළකාය යොදවලා තියෙනවා. මෙහිදී හාමුදුරුවන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මේ සිදුවීම පදනම් කරගෙන තමන්ගේ සිහින දේශපාලන මාවත විවර කරගන්න රජය ඉඩකඩ ලබාදෙන්නේ නෑ. මේක පාවිච්චි කරලා තමන්ගේ දේශපාලන ගමන හදාගන්න. රැස්වීමට සෙනඟ හදාගන්න. රැස්වීමට බස් දාගන්න බලාපොරොත්තු වෙන අයට රජය කිසිසේත්ම ඉඩක් ලබාදෙන්නේ නෑ. මේ සිදුවීම්වලින් පටන් අරන් දැවැන්ත ලේ වැගිරීම් දක්වා අපි ඕන තරම් සිදුවීම්වලට රටක් විදියට මුහුණදීලා තියෙනවා. ඒ නිසයි බුදුපිළිම වහන්සේ ඉවත් කිරීමට පොලීසිය කටයුතු කළේ. නැවත බුදුපිළිමය එතැන තැන්පත් කරලා තියෙනවා. නොවැම්බර් 26 අධිකරණය කටයුතු කරන ආකාරය ගැන රජය බලාගෙන ඉන්නවා.”
ත්‍රිකුණාමලයේ විහාරස්ථාන භූමියක තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට පොලීසිය පියවර ගැනීමත් සමඟ 16 වනදා රාත්‍රියේ එහි නොසන්සුන් තත්ත්වයක් ඇති වුණි.
කෙසේවෙතත් ඊයේ (17) දහවල් පොලීසිය විසින්ම බුද්ධ ප්‍රතිමාව යළි වැඩම කර, පැවති ස්ථානයේම තැන්පත් කිරීමට පියවර ගත්තේය.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, බුද්ධ ප්‍රතිමාවට හානි සිදුවනු ඇති බවට ලද තොරතුරක් හේතුවෙන් එහි ආරක්ෂාව සහතික කිරීමට පොලීසිය අදාළ ක්‍රියාමාර්ගය ගත් බවය.
ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය 1951 වසරේදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බෞද්ධ විහාරස්ථානයකි.
එහි පවත්වාගෙන ගිය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන දහම් පාසල සුනාමි ව්‍යසනයෙන් විනාශ වූ අතර යළි එහි කටයුතු ආරම්භ කිරීමට විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණවංසතිස්ස හිමියන් සහ දායක පිරිස් තීරණය කර තිබුණි.
16 වනදා උදෑසන ඊට අදාළව මුල්ගල තැබීම සිදුකර පස්වරුව වන විට එම ස්ථානයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමටද පිරිස කටයුතු කර තිබුණේ ඒ අනුවය.
නමුත් මෙම ඉදිකිරීම් අනවසර බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය පැමිණ ස්වාමීන් වහන්සේ දැනුවත් කර තිබුණි.
මෙවැනි පසුබිමක එම භූමියේ තැන්පත් කෙරුණු බුද්ධ ප්‍රතිමාව ඉවත්කිරීමට පොලීසිය 16 වනදා රාත්‍රියේ කටයුතු කර තිබේ.
ඒ හිමිවරුන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් පොලිසියට එහිදී එල්ල වූ දැඩි විරෝධය මධ්‍යයේය.
සිද්ධියෙන් තුවාල ලද බව පවසමින් විහාරාධිපති ස්වාමීන් වහන්සේ සහ තවත් ස්වාමීන් වහන්සේ නමක් පසුව රෝහල්ගත වුණි.
මේ අතර සිද්ධිය වූ ස්ථානයට ඊයේ පැමිණි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් අක්මීමන මහතාට එහි සිටි පිරිසගෙන් විරෝධය එල්ලවුණි.
විහාරයේ කොටසක් කඩා ඉවත් කිරීමේ නියෝගයට එරෙහිව පෙත්සමක්
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එම විහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලය කල්‍යාණ වංශ තිස්ස හිමි විසින් මේ පෙත්සම ඉදිරිපත් කර ඇත.
එහි වග උත්තරකරුවන් ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් සහ පරිසර අමාත්‍යවරයා නම් කර තිබේ.
පෙත්සම්කාර විහාරාධිපති හිමියන් කියා සිටින්නේ තම විහාරය අමරපුර නිකාය යටතේ විහාර හා දේවාලගම් පනතට අනුකූලව 1951 වසරේ ලියාපදිංචි කළ විහාරස්ථානයක් බවය.
2014 වසරේ ජුනි මස හය වනදා එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම ඉඩම එවක නායක හිමි මිහිඳුපුර මහින්ද වංශ තිස්ස හිමිට බලපත්‍රයක් යටතේ පවරා දුන් බවත් පෙත්සම තුළින් සඳහන් කර ඇත.
තම විහාරස්ථානයට අයත් 57/ ටීජී දරණ ඉඩම් කොටස සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවට ත්‍රිකුණාමලය නගර සභාව විසින් ලිපියක් නිකුත් කළ බවත් පෙත්සමේ සඳහන් වේ.
කෙසේ වෙතත් මෙම විහාරස්ථානයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් 2025.07.18 සහ 2025.07.25 දිනවල ලිපි නිකුත් කළ අතර ඊට එරෙහිව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත තමන් වහන්සේ අභියාචනයක් ඉදිරිපත් කළ බවත් පෙත්සම්කාර හිමියන් සඳහන් කර තිබේ.
එහෙත් එම අභියාචනය පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර මේ සම්බන්ධව සිය අභියාචනය ප්‍රතික්ෂේප කිරීමට පෙර අදාළ අමාත්‍යාංශ ලේකම්වරයා තමන් වහන්සේගෙන් කරුණු විමසීමක් හෝ තමන් වහන්සේගේ ස්ථාවරයට කන් දීමක් නොකළ බවත් විහාරාධිපති හිමියන් චෝදනා කළේය.
අදාල ඉදිකිරීම තුළින් වෙරළ සංරක්ෂණ රෙගුලාසි කිසිවක් උල්ලංඝනය නොවන අතර සිය ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි අත්තනෝමතික මෙන්ම ද්වේෂ සහගත තීන්දුවක් බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.
ඒ අනුව අදාල විහාරස්ථාන ඉදිකිරීම් හෝ ඉන් කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන ලිපි බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම කඩා ඉවත් කිරීම් වලක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර විහාරාධිපති හිමියන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.
එමෙන්ම මෙම පෙත්සම විවාද කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු අදාල ඉදිකිරීම් කඩා ඉවත් කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඒ හිමියන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.



















































