අයහපත් කාලගුණයෙන් 26,000ක් අවතැන් – මරණ 17 දක්වා ඉහළට

0
Disaster - අයහපත් කාලගුණයෙන් 26,000ක් අවතැන් - මරණ 17 දක්වා ඉහළට

අයහපත් කාලගුණ තත්වයත් සමඟ ජල මට්ටම ඉහළ ගිය කැළණි, කළු ගංඟා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම මේ වනවිට සැළකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

බොහෝ ප්‍රදේශවල ගං වතුර තත්වයේ අඩුවීමක් පවතින අතර, අද දිනයේදී එම තත්වය තවදුරටත් අඩුවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර කියා සිටියේ.

කෙසේ වෙතත් ගං වතුරෙන් තර්ජනයට ලක්ව ඇති පහත්බිම්වල ජනතාව ඒ සම්බන්ධයෙන් තවදුරටත් සැළකිලිමත් විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නා.

එසේම ගංවතුර බැස ගිය පසු නැවත පදිංචිවීම සඳහා නිවාස වෙත ගමන් කිරීමේදී ද වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අදාළ ජනතාවට දැනුම් දෙන්නේ.

මේ අතර ආපදාවලින් ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 10 ක, පුද්ගලයින් දෙලක්ෂ 70,912 ක් පීඩාවට පත්ව ඇති බවයි.

එසේම, පුද්ගලයින් තුන්දෙනෙකු අතුරුදන්ව ඇති අතර තවත් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මීට අමතරව, සුරක්ෂිත මධ්‍යස්ථාන 104 ක පුද්ගලයින් 26,846 දෙනෙකු තවදුරටත් රැදී සිටින අතර, ඔවුන් පවුල් 6176 කට අයත්.

මේ අතර, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල අවදානම් සහිත ප්‍රදේශවලට පනවා ඇති නායයාමේ අවදානම අද (07) පස්වරු 4.30 දක්වා දීර්ඝ කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.

අයහපත් කාලගුණය හේතුවෙන් ගම්පහ පහත් බිම් රැසක් තවමත් ජලයෙන් යටව පවතින බවයි හිරු වාර්තාකරු කියා සිටියා. මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් මෙන්ම ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බවයි