ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබේ.
මීට අමතරව රුපියල් 1,500 ක දඩයක් නියම කරන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
2016 වසරේ ජූලි මස 16 වනදා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී “ඉස්ලාමය පිළිකාවක්.. එය අතුගා දමන්න ඕනේ.” යනුවෙන් ප්‍රකාශ කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංගනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ පොලීසිය විසින් ඥානසාර හිමියන්ට මෙම නඩුව ගොනු කර තිබුණි.
ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මාස 9ක ලිහිල් සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (9) ප්‍රතික්ෂේප කළේය.
එම දඬුවමට එරෙහිව උන්වහන්සේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් අභියාචනා පෙත්සම විභාගකොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු, ඥානසාර හිමියන් ඇප මත මුදාහන ලෙස උන්වහන්සේගේ නීතිඥවරු විසින් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි.