පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාලිමා ආණ්ඩුව සිදුකරන පරීක්ෂන වල ප්‍රගතිය මෙන්න

0
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයන් අනුව සැකකරුවන් 747ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.

අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සැකකරුවන් සහ සැකකාරියන් 100කට මහාධිකරණයේ නඩු 14ක නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර ඇති බව ය.

මෙන්ම මේ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බව ද ප්‍රකාශ කළ අමාත්‍යවරයා, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව තුළින් අනාවරණය වූ කරුණු ද ඊට පරිබාහිරව විමර්ශනවලදී අනාවරණය වූ කරුණු ද පදනම් කරගනිමින් තවදුරටත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරමින් පවතිනු බවත් ප්‍රකාශ කළේ ය.

ඒ තුළින් අනාවරණය වූ කරුණු මත ඉදිරි නෛතික කටයුතු සිදු කිරීමට නියමිත බව ද හෙතෙම සඳහන් කළේ ය.

වත්මන් රජය බලයට පත්වූ පසුව මෙම විමර්ශන නව අදියරකින් ආරම්භ වී ඇති බවත් ඒ අනුව පසුගිය නොවැම්බර් 11 වැනි දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා; ඒ අනුව මේ දක්වා සිදුකරනු ලැබූ විමර්ශන අනුව සිවිල් සාක්ෂිකරුවන් 12 දෙනෙකුද, හමුදා සාමාජිකින් 7 දෙනෙකු, පොලිස් නිලධාරීන් 24ක් සහ බන්ධනාගාරගත නිලධාරීන් 3 දෙනෙකු ඇතුළුව 48 දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගනිමින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.