මේ දිනවල රට පුරා සිදු කෙරෙන වැඩ වර්ජනවල වගකීම පෙරටුගාමී සමාජවාදී පක්ෂය බාරගන්නා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවැසීය.
රටේ උද්ධමනය වැඩි වී තිබෙන බවත් රජයේ සේවකයන්ට ලැබෙන සොච්චමෙන් ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති නිසා මෙම වැඩ වර්ජන ක්‍රියා මාර්ගයට තම පක්ෂය සහාය දෙන බව ද ඔහු කීය.
වැටුප් වැඩි කිරීමට නම් වැට් වැඩි කළ යුතු යැයි ආණ්ඩුව පැවැසුවත් මහා බැංකුවේ සහ විධායක ශේණි වල වැටුප් වැඩි කර ගත්තේ කුමන පදනමකින් දැයි ඔහු ප්‍රශ්න කළේය.
වැටුප් වැඩි කිරීමට මුදල් නැතැයි ආණ්ඩුව ප්‍රකාශ කළත් බදු සහන ලෙස ලබා දී ඇති බිලියන 600 නැවත අය කරගතහොත් එම ප්‍රශ්නයට විසඳුම් ලැබිය යුතු බව ද දුමින්ද නාගමුව මහතා සඳහන් කළේය.
ඉදිරියේදී මැතිවරණයක් පැවැත්වීමට නියමිත නිසා මෙම ඉල්ලීම් දිනා ගැනීමට ගැනීම හොඳම අවස්ථාව මෙය බව ද ඔහු සඳහන් කළේය.
ගෙදර ඉන්න අපි ලෑස්තියි – දුම්රිය වෘත්තීය සමිති
සේවය හැරයෑමේ නිවේදනය අනුව සිය සේවය නොමැතිව දුම්රිය සේවය පවත්වාගෙන යා හැකි නම් එය සිදුකර පෙන්වන ලෙස දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, “අපිත් බය නැහැ. ගෙදර ඉන්න වුණත් අපි ලෑස්තියි. මේ මර්දනයට එරෙහිව හෙට තවත් වෘත්තීය සමිති එකතු වෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන් එක්කෙනෙක්වත් මේ ලියුම්වලට බය වෙන්නේ නැහැ. අපිට කරන්න දෙයක් නැහැ.. මගී ජනතාවට වෙන අපහසුතාවය ගැන. බලධාරීන් විසඳුම් දෙන්න ඕනේ.”
වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවය හැරගියා සේ සලකන බව වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. එස්. මුදලිගේ මහතා සිදුකළ දැනුම්දීමට ප්‍රතිචාර දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය.
අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ඊයේ (10) දහවල් 12ට අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවයට වාර්තා කළ යුතු බවය.
ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කර තිබියදී මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බවද වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. එස්. මුදලිගේ මහතා පැවසීය.
රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීම් ලැබෙන අයුරු මෙන්න
වෘත්තීය සමිති වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීම් ලැබෙන අයුරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (10) පැහැදිලි කළේය.
වෘත්තීය සමිති වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ, විධායක ශ්‍රේණියේ නොවන සියලුම රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමටත්, ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටත් 09 කැබිනට් අනුමැතිය හිමිවුණි.
“වර්ජනය කරපු දිනවල… කඩාකප්පල්කාරී ක්‍රියාවට සම්බන්ධ නොවී දරුවන්ගේ පැත්තේ හිටගත්තු ගුරුවරුන්ට විතරක් 3.1 ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 525කින්, 2 වන ශ්‍රේණියේ පළමු පංතියේ ගුරුවරයෙකුට රු 1,335ක වැටුප් වැඩිවීමකුත්, පළමු ශ්‍රේණියේ ගුරුවරුන් සඳහා රු 1,630ක වැටුප් වර්ධකයෙකුත් විශ්‍රාම වැටුපට බලනොපාන ආකාරයට වැටුප්වල වර්ධකයක් ලැබෙනවා.”
“රාජ්‍ය අංශයේ අනෙකුත් සුළු සේවකයින් හා අනෙකුත් අයටත්, වැඩකරපු සියලුදෙනාටත් මෙවැනි වැටුප් වර්ධකයන් ලැබෙනවා ඇති. භාණ්ඩාගාරයට මුදල් නැත්නම් කොතරම් උද්ඝෝෂණය කරත්, කොතරම් වැඩ වර්ජනය කරත්, කොතරම් සාප කළත්, පොල් ගැහුවත්, දේවාලවලට ගියත් කොහෙන්ද දෙන්නේ ? කවුද දෙන්නේ ?”
ඊයේ (10) පස්වරුවේ බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී දුම්රිය මගියෙකු දුම්රියෙන් ඇද වැටී ජිවිතක්ෂයට පත්වී තිබේ.
එම මගියා ඇද වැටී තිබුණේ කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියෙනි.
පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් හෙළිවී නොමැති බවය.