ප්‍රංශයේ හදිසි මැතිවරණයෙන් පසු දේශපාලන අස්ථාවරභාවයක්

0
දේශපාලන අස්ථාවරභාවයක්

ප්‍රංශයේ හදිසි මැතිවරණයේ පෙරේදා පැවැති දෙවැනි වටයේ ඡන්ද විමසීම නිමා වන විට කිසිදු පක්ෂයකට රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතර ආසන සංඛ්‍යාවක් හිමි නොවීමෙන් එරට දේශපාලන අස්ථාවරභාවයක් උද්ගත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ආසන 577කින් යුතු එරට පාර්ලිමේන්තුවේ රජයක් පිහිටුවීමට ආසන 289ක් ජය ගත යුතු බවත්, කිසිදු පක්ෂයකට ආසන 200 සීමාවට ළඟා වීමට නොහැකි වූ බවත් වැඩිදුරටත් වාර්තා වේ. මේ අර්බුදය මැද එරට අගමැති ගේබ්‍රියෙල් අටාල් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි ද, ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට බාරදීමට නියමිතව ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

පසුගියදා පැවැති පළමු වටයේ ඡන්ද විමසීමේදී අනපේක්ෂිත ලෙස 34%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා පෙරමුණට පත්ව සිටි විපක්ෂ නායිකා මැරින් ලේ පෙන්ගේ නායකත්වයෙන් යුතු එරට අන්ත දක්ෂිණාංශික පක්ෂය ජයගනු ඇතැයි අනාවැකි පළ වී තිබුණ ද, දෙවැනි වටයේදී එම පක්ෂය තුන්වැනි තැනට පත්වූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන්ගේ රෙනයිසන්ස් මධ්‍යස්ථ පක්ෂය දෙවැනි තැනට පත්වූ බවත්, පළමු වටයේදී දෙවැනි තැන හිමිකරගත් ජීන් ලුක් මෙලෙන්චොන් ඇතුළු වාමාංශික සන්ධානය පළමු තැනට පත්වූ බවත් වාර්තා වේ. ඒ අනුව එම සන්ධානයට ආසන 182ක් ලැබී ඇති අතර, මැක්‍රොන්ගේ පක්ෂයට ආසන 163ක් ලැබී ඇතැයි වාර්තා වේ. මැරින් ලේ පෙන්ගේ අන්ත දක්ෂිණාංශික පක්ෂයට ලැබී ඇති ආසන සංඛ්‍යාව 143ක් බව ද වාර්තා වේ.

සාම්ප්‍රදායික වශයෙන් එකිනෙකට විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන ප්‍රධාන පක්ෂ ත්‍රිත්වයට ඒකාබද්ධව රජයක් පිහිටුවීමට හෝ තවත් වසරක් ගතවනතුරු නැවත මැතිවරණයක් පැවැත්වීමට හෝ හැකියාවක් නොතිබීම හේතුවෙන් අස්ථාවර රජයක තවදුරටත් ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට මැක්‍රොන්ට සිදුවනු ඇතැයි ද දේශපාලන විශ්ලේෂකයන් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.