මෛත්‍රිපාල සිරිසේන චේතනාන්විතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

0
ව්‍යවස්ථාව උල්ලංඝනය මෛත්‍රිපාල සිරිසේන

 

මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රොයල් පාර්ක් නිවාස සංකීර්ණයේදී ඉවෝන් ජොන්සන් නැමති 19 හැවිරිදි තරුණියක් ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ෂාමන්ත ජයමහ නමැති විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමේදී එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන චේතනාන්විතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජුනි 6 වැනිදා) තීන්දු කළේය.

ඒ අනුව අදාළ විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගනු ලැබූ තීරණය බල රහිත කරන බවත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව ප්‍රකාශ කරනු ලැබීය.

කාන්තා හා මාධ්‍ය සාමූහිකය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව එස්.තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරු වෙන් වෙන් වශයෙන් තීන්දු තුනක් ප්‍රකාශයට පත්කළ අතර එම තීන්දු සියල්ලේම සමස්ත පිටු සංඛ්‍යාව 306 කි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අදාළ විත්තිකරු සමාව ප්‍රදානය කර නිදහස් කිරීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් 12(1) සහ 34(1) යන වගන්ති උල්ලංඝණය කර ඇති බවත් විනිසුරුවරු තීන්දු කළහ.

ඒ අනුව පෙත්සන්කාර පාර්ශ්වයට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස මෛත්‍රිපාල සිරිසේනට නියෝග කෙරුණි.

ඊට අමතරව මෙම නඩුකරයට පාදකවන සිද්ධියේදී මිය ගිය තරුණියගේ දෙමව්පියන් වන රොජර් ජොන්සන් සහ කැරලයින් ජොන්සන් යන අයට තවත් ලක්ෂ 10 බැගින් ලක්ෂ 20 ක් වන්දි සහ නඩු ගාස්තු ගෙවිය යුතු බවත් මෛත්‍රිපාල සිරිසේනට අධිකරණය නියෝග කළේය.

ජනතාව විසින් රජයට ගෙවනු ලබන බදු මුදල් මෙවැනි කටයුතු සඳහා යෙදවීම යෝග්‍ය නොවන බව සඳහන් කළ විනිසුරුවරු මෙම නඩුවේ පෙත්සම්කරුට සහ මියගිය තරුණියගේ දෙමව්පියන්ට නඩු ගාස්තු වශයෙන් රුපියල් 100/- බැගින් වන්දි සහ නඩු ගාස්තු ගෙවන ලෙසත් රජයට නියෝග කෙරුණි.

ඊට අමතරව උදර්පන නීතිය සහ පවතින නීති හා ජාත්‍යන්තර සම්මුති උපයෝගී කරගනිමින් දැනට විදේශගතව සිටින ජූඩ් ශාමන්ත ජයමහ නමැත්තා සිටින ස්ථානය සොයා ඔහු මෙරටට ගෙන්වාගෙන යළි සිරභාරයට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් නීතිපතිවරයාට නියෝග කරනු ලැබීය.

සමාව ප්‍රදානය කිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක්

ඊට අමතරව අධිකරණය මගින් වරදකරු කොට දඬුවම් ලැබූ සිරකරුවන්ට සමාව ප්‍රදානය කිරීමේදී අනුගමනය කළ යුතු මූලධර්මයන් හා මාර්ගෝපදේශ මාලාවක් පිලිබඳව ජනාධිපතිවරයා, අධිකරණ අමාත්‍යවරයා, ජනාධිපති ලේකම්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් යන පාර්ශවයන්ට අවශ්‍ය උපදෙස් ලබාදීමට පියවර ගන්නා ලෙසත් එම උපදෙස්වල පිටපතක් මෙම නඩු තීන්දුව නිකුත් වී මාසයක් තුළ අධිකරණය හමුවේ ගොනු කරන ලෙසත් අධිකරණ නියෝගයේ සඳහන් වේ.

ඊට අමතරව මෙම නඩු තීන්දුව ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සහ එහි ප්‍රගතිය පිළිබඳව මාස දෙකෙන් දෙකට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට නියෝග කළේය.

ඝාතන සිද්ධිය කුමක් ද?

2005 වසරේ රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණය තුළ තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ජූඩ් ශමන්ත ජයමහ නමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 12 ක සිර දඬුවම් නියම කර තිබුණි.

කොළඹ මහාධිකරණය විසින් නියම කළ එම දඬුවම ප්‍රමාණවත් නොමැති බවත් එබැවින් ඔහුට නීතියෙන් නියම කර තිබෙන ආකාරයට සුදුසු දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් අභියාචනාදීකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අතර තමන්ට නියම වී ඇති සිරදඬුවමෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ජූඞ් ශමන්ත ජයමහ නමැති විත්තිකරු විසින්ද අභියාචනාදීකරණයට ඇපෑලක් ඉදිරිපත් කරනු ලැබීය.

එම ඇපල් පෙත්සම් දෙක විභාග කළ අභියාචනාදීකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් පැනවූ වසර 12 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම අහෝසි කොට මරණීය දණ්ඩනය නියම කිරීමට තීන්දු කළේය.

එම තීන්දුවට එරෙහිව විත්තිකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කළත් එම ඇපෑල නිෂ්ප්‍රභ කරමින් විත්තිකරුට පැනවූ මරණීය දණ්ඩනය තහවුරු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ලැබීය.

ඉන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් 2019 වසරේ ඔහුට ජනාධිපති සමාව ප්‍රදානය කර අදාළ විත්තිකරු නිදහස් කිරීමට නියෝග කර තිබුණි.

ඊට එරෙහිව මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යම් වරදකරුවකුට සමාව ප්‍රදානය කිරීමේදී ජනාධිපතිවරයා විසින් අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියාපටිපාටියක් පවතින බව සඳහන් කළේය.

එහෙත් මෙම විත්තිකරුට සමාව ප්‍රදානය කිරීමේදී එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බවත් එබැවින් එම සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ තර්ක කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්.තුරෙයි රාජා ප්‍රකාශ කළේ අධිකරණය මගින් මරණීය දණ්ඩනය පනවන ලද මෙම විත්තිකරුට 2016 වසරේ මැයි මස 17 වැනිදා සමාව ප්‍රදානය කර එම දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත්කර ඇති බවය.

එම අවස්ථාවේදී මෙම විත්තිකරු සමඟ තවත් විත්තිකරුවන් 69 දෙනෙකුට පනවා තිබූ මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් බවට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ බව තීන්දුවේ සඳහන්වේ.

ඉන් අනතුරුව 2019 වසරේ ඔක්තෝබර් මස 30 වැනිදා මෙම විත්තිකරුට නියම වී තිබූ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමින් ඔහු නිදහස් කරමින් සමාවක් ප්‍රදානය කිරීමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබෙන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව යටතේ වරදකරුවී දඬුවම් නියම වූ සිරකරුවන්ට සමාව දීම සම්බන්ධ ප්‍රතිපාදන ඇතුළත්ව තිබෙනවා. අධිකරණය මගින් වරදකරුවී දඬුවම් ලැබුවෙකුට සමාව දීමේදී ජනාධිපතිවරයා විසින් අනුගමනය කළ යුතු නීති පටිපාටියක් තිබෙනවා. තීන්දුව ලබාදුන් අධිකරණයේ විනිසුරුවරයාගේ වාර්තාවක් කැඳවීම, නීතිපතිවරයාගේ වාර්තාවක් සහ අධිකරණ අමාත්‍යවරයාගේ උපදෙස් ලබා ගැනීම යනාදිය එම සමාව දීමේ නීතිමය පටිපාටියට ඇතුළත්. එහෙත් මෙම විත්තිකරුට අවස්ථා දෙකකදී සමාව ප්‍රදානය කර තිබුණත් එම නීතිමය පටිපාටිය ජනාධිපතිවරයා විසින් අනුගමනය කර නැහැ. ඒ හරහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන චේතනාවිතවම උල්ලංඝණය කර තිබෙන බව පෙනී යනවා. මහජනතාව සතු පරමාධිපත්‍ය බලය මෙන්ම විශ්වාසයද බරපතළ ලෙස බිඳ හෙළීමට ඔහු කටයුතු කර තිබෙනවා. නීතියේ ආධිපත්‍යය බිඳ හෙලා තිබෙනවා “යනුවෙන් විනිසුරුවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු තුරෙයි රාජා කියා සිටියේ

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව යටතේ වරදකරුවන්ට සමාව ප්‍රදානය කිරීමේ බලය ජනාධිපතිවරයාට අනන්‍ය බලයක් බවත් එය අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කළ නොහැකි බවටත් වග උත්තරකාර පාර්ශ්වය මූලික විරෝධතාවක් මතුකර තිබුණා. එම තර්කය මා ප්‍රතික්ෂේප කරනවා. සිරකරුවන්ට සමාව ප්‍රදානය කිරීමේ බලය විධායක ක්‍රියාවක් ලෙසයි සඳහන් කළ යුත්තේ. එවැනි අවස්ථාවක එම විධායක ක්‍රියාව අධිකරණය හමුවේ ප්‍රශ්න කළ හැකියි. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අත්තනෝමතික ආකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට ලබා දී තිබෙන බලය අතික්‍රමණය කොට කටයුතු කිරීම නිසා මෙම නඩුවෙන් මියගිය තරුණියගේ දෙමව්පියනට වසර ගණනාවක් දැඩි මානසික පීඩාවකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඔවුන්ට සිදු වූ මානසික පීඩාව මුදලින් ගණනය කිරීමට හැකියාවක් නැති බව අධිකරණය විසින් නිරීක්ෂණය කරනු ලබනවා. මෙවැනි බලයක් ක්‍රියාවේ යොදවන විට ජනාධිපතිවරයා විසින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් පැවතීම වැදගත්. එවැනි මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස මෙම නඩුවේ පෙත්සම්කරු හෝ කිසිදු පාර්ශවයක් අධිකරණය හමුවේ ඉල්ලීම් කළේ නැහැ.”යනුවෙන් විනිසුරු තුරෙයි රාජා සඳහන් කර සිටියේය.

ඉන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් “පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, මෙහි විත්තිකරුගේ දෙමව්පියන් සහ විත්තිකරු විසින් පෞද්ගලිකවම කරන ලද ඉල්ලීම් පදනම් කරගෙන සමාව ප්‍රදානය කළ බව හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් සඳහන් කර තිබුණා. එහෙත් විත්තිකරුට සමාව ප්‍රදානය කිරීමේදී ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අනුගමනය කළ යුතු නීතිමය පටිපාටිය අනුගමනය කර නොමැති බව පැහැදිලියි. ඔහු වගකීම් විරහිත ආකාරයට සහ අතනෝමතික ලෙස සිය බලය අභිබවා කටයුතු කර තිබෙනවා. ඒ අනුව අවස්ථා දෙකකදී මෙම විත්තිකරුට ප්‍රදානය කළ සමාව බල රහිත මෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළ යුතුයි.”

එහෙත් මෙම විත්තිකරුට පනවා තිබූ මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් බවට පත් කරමින් 2016 වසරේ මැයි මස 17 වනදා ප්‍රදානය කරන ලද සමාව නීති විරෝධී බවට අධිකරණය විසින් තීන්දු කළත් එහිදී එම සමාව ලද සෙසු සිරකරුවන් 69 දෙනාට මෙම තීන්දුව අදාළ නොවන බවත් විනිසුරු කෝදාගොඩ සිය තීන්දුවේ සඳහන් කර සිටියේය.

විනිසුරු ජනක් ද සිල්වා සිය තීන්දුව තුළින් සඳහන් කර සිටියේ “මෙහි විත්තිකරුට ජනාධිපතිවරයා විසින් අවස්ථා දෙකකදී සමාව ප්‍රදානය කර තිබුණත් ඊට හේතු වූ කරුණු පැහැදිලි කිරීමට ජනාධිපතිවරයා අසමත් වී තිබෙනවා. ඊට අදාළ කරුණු පැහැදිලි කිරීම් අඩංගු සටහන් පවා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හමුවුණේ නැහැ. මෙහිදී ජනාධිපතිවරයා බරපතල ලෙස සිය බලය අවභාවිතා කොට තිබෙන ආකාරය පෙනී යනවා. සමාව ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන සුවිශේෂී බලයක්. එය අත්තනෝමතික ආකාරයෙන් පරිහරණය කිරීමට හැකියාවක් නැහැ.” යනුවෙන් විනිසුරුවරයා සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම පෙත්සමේ වගඋත්තරකාර පාර්ශවයක් ලෙස නම් කර තිබු අතර එම සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පිරිස් පෙනී සිටි අතර මියගිය තරුණියගේ දෙමව්පියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙනී සිටියේය.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපතින්ගේ සංජීව ජයවර්ධන පෙනී සිටියේය.

නඩු තීන්දුවෙන් පසුව ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

විදේශයකට පලා ගොස් සිටින ජූඩ් ශාමන්ත ජයමහ නමැති විත්තිකරු සම්බන්ධයෙන් මතුවන තත්ත්වය කුමක්දැයි, මෙම නඩු තීන්දුව ප්‍රකාශ වීමෙන් අනතුරුව බොහෝ දෙනා තුළ ගැටලුවක් මතුවී තිබේ.

මේ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිඥවරයකු වන හෆීල් ෆාරිස්ගෙන් බීබීසී සිංහල විමසීමක් කළේය.

“මේ පුද්ගලයා ගෙන්වා ගැනීමට ගත යුතු පියවර නඩු තීන්දුව තුළම විස්තර කර තිබෙනවා. මේ තැනැත්තා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා නීතිපතිවරයා මුලින්ම උදර්පණ නීතිය යටතේ කොළඹ මහාධිකරණයට අයදුම් පතක් ඉදිරිපත් කළ යුතුයි. එවැනි අයදුම්පතක් ඉදිරිපත් කර මේ විත්තිකරු විදේශයක සිට මෙරටට ගෙන්වා ගැනීම සඳහා වන නීතිමය ක්‍රියාමාර්ගය ආරම්භ කළ යුතුයි. මේ තැනැත්තා සිංගප්පූරුවේ සිටින බවට වාර්තා පළ වී තිබෙනවා. ඒ නිසා සිංගප්පූරු රජය සහ ශ්‍රී ලංකාව අතර තිබෙන වැරදිකරුවන් හුවමාරු කර ගැනීමේ සම්මුති ගැන අවධානය යොමු කිරීමට සිදුවෙනවා. එවැනි ගිවිසුමක් හෝ සම්මුතියක් තිබෙනවා නම් අදාළ පුද්ගලයා මේ රටට පිටුහල් කරන ලෙස ශ්‍රී ලංකා රජය විසින් සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්” යනුවෙන් සඳහන් කළ නීතිඥවරයා මෙම ක්‍රියාවලිය සඳහා සැලකිය යුතු කාලයක් ගතවීම වැළැක්විය නොහැකි බවත් අවධාරණය කළේය.