20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භයේම ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

0
20යි 20 ලෝක කුසලාන

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව  අතර අද (03) පැවැති තරගය කඩුලු 6කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

නිව්යෝක් හි නසාවු ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු 6ම ලකුණු 45ක් තුළ දවා ගැනීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් සමත්විය.

පැතුම් නිස්සංක ලකුණු 3කට දැවී ගිය අතර කමිඳු මෙන්ඩිස් රැස් කළේ ලකුණු 11ක් පමණි.

නායක වනිඳු හසරංග සහ සදීර සමරවික්‍රම ලකුණු නොලබාම යළි හරවා යවන්නට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් විය.

ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක 7 වැනි කඩුල්ලට ලකුණු 23ක සබඳතාවක් ගොඩනැගූ අතර මැතිව්ස් ලකුණු 16ක් සහ දසුන් ශානක ලකුණු 9ක් රැස් කළේය.

පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 77ක් පමණි.

මෙම ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර 20යි 20 පිටියේ වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක් වුණි.

ඒ අනුව ලකුණු 78ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 2කදී කඩුලු 4දැවී ජයග්‍රහණය වාර්තා කළේය.