ඉකුත් මාසයේ සිය රෝහල වැටලූ ඊශ්‍රායල හමුදා තම ඇස් බැඳ, රඳවා තබාගෙන, ඇඳුම් ගලවා දමන ලෙසට බල කර සහ නැවත නැවතත් පහර දුන් බව ගාසා තීරයේ සිටින පලස්තීන වෛද්‍ය කාර්ය මණ්ඩලය බීබීසීය වෙත පවසා තිබේ.
තමා සතියක් රැඳවුම් භාරයේ තබාගෙන, එහිදී කටකලියා දැමූ සුනඛයින් යොදා ගෙන හිංසනයට ලක් කළ ආකාරයත් ඊශ්‍රායල සෙබළෙකු විසින් තම අත කඩා දමන ලද ආකාරයත් නාසර් රෝහලේ වෛද්‍යවරයෙකු වන අහමඩ් අබු සබා විස්තර කළේ ය.
ඔහු සඳහන් කළ තොරතුරු, පළිගැනීම්වලට බියෙන් නිර්නාමිකව සිටීමට අපේක්ෂා කරන තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකු සඳහන් කළ තොරතුරු හා සමාන වේ.
ඔවුන් බීබීසීයට පැවසුවේ, තමන්ට අවමන් කළ බව ත්, පහර දුන් බව ත්, සීතල වතුරෙන් නැහැවූ බවත්, පැය ගණනක් අපහසු ඉරියව්වල දණ ගසා සිටීමට බල කළ බව ත් ය. නිදහස් කිරීමට පෙර තමන් දින ගණනක් රඳවාගෙන සිටි බව ඔවුහු පැවසූහ.
බීබීසීය ඔවුන්ගේ චෝදනා පිළිබඳ විස්තර ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (අයිඩීඑෆ්) වෙත ලැබීමට සැලැස්වීය. ඔවුන් මෙම තොරතුරු සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නවලට ඍජුව ම ප්‍රතිචාර දැක්වීමක් හෝ කෲර ලෙස සැලකීම සම්බන්ධ ප්‍රකාශ ප්‍රතික්ෂේප නොකළ නමුත් තම මෙහෙයුමේදී වෛද්‍ය කාර්ය මණ්ඩලයට හානියක් සිදු වූ බව ඔවුහු ප්‍රතික්ෂේප කළහ.
ඔවුන් කියා සිටියේ, “රැඳවියන් අපයෝජනය කිරීම අයිඩීඑෆ් නියෝගවලට පටහැනි බැවින් එය සපුරා තහනම්” බව ය.
අවවාදයයි: ඇතැම් පාඨකයින් මෙම ලිපියේ ඇති කරුණු මගින් කම්පනයට පත්විය හැකි ය.
අයිඩීඑෆ් විසින් පෙබරවාරි 15 වන දා ගාසා තීරයේ ක්‍රියාත්මක වෙමින් පැවති රෝහල්වලින් එකක් වූ ඛාන් යුනිස්හි දකුණු දෙසට වන්නට පිහිටි ගාසාන් නගරයේ රෝහල වටලනු ලැබුවේ, එහි හමාස් ක්‍රියාකාරීන් සිටින බවට බුද්ධි අංශ පෙන්වා දුන් බව පවසමිනි.
ඔක්තෝබර් 7 වන දින හමාස් සටන්කාමීන් විසින් ග්‍රහණයට ගන්නා ලද ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් එහි රඳවාගෙන සිටි බව ද ඔවුන් පැවසූ අතර ඇතැම් ප්‍රාණ ඇපකරුවන් ප්‍රසිද්ධියේ පවසා තිබුණේ, තමන් නාසර්හි රඳවා සිටි බව ය. තම සටන්කාමීන් රෝහල් තුළ ක්‍රියාත්මක වන බව හමාස් සංවිධානය ප්‍රතික්ෂේප කර තිබේ.
වෛද්‍යවරුන් රැඳවුම් භාරයට ගත් පෙබරවාරි 16 වන දින රෝහල තුළ රහසිගතව රූගත කරන ලද දර්ශන බීබීසීය වෙත ලැබී ඇත.
රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය පිහිටා ඇති ගොඩනැගිල්ල ඉදිරිපිට, යට ඇඳුම් පමණක් ඉතිරිවන ලෙස ඇඳුම් ගලවා දැමූ පිරිමි පුද්ගලයින් පෙළක් හිස පිටුපසට දෑත් තබා ගෙන, දණ ගසා ගෙන සිටින අයුරු එහි දැක්වේ. ඔවුන්ගෙන් ඇතැමෙකු ඉදිරිපිට වෛද්‍ය ලෝගු ගලවා දමා ඇති ආකාරය දක්නට ලැබේ.
“කවුරු හරි ඔළුව හෙළෙව්වොත් හරි, පොඩ්ඩක් හරි හෙළවුණොත් හරි පහර කෑමට ලක් වුණා,” රෝහලේ සාමාන්‍යාධිකාරී, වෛද්‍ය ආතිෆ් අල්-හවුත් බීබීසීයට පැවසීය. “ඒ නින්දාසහගත ඉරියව්වේ පැය දෙකක් විතර මේ අය හිටියා.”
අයිඩීඑෆ් බීබීසීය වෙත පැවසුවේ: “නීතියක් ලෙස, අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියේදී, ත්‍රස්තවාදී සැකකරුවන් ඔවුන් පුපුරණ ද්‍රව්‍ය කබා ඇඳ සිටින බවට හෝ වෙනත් ආයුධ සඟවා ගෙන නොමැති බවට සහතික කර ගැනීම සඳහා ඔවුන්ගේ ඇඳුම් පරීක්ෂාවට ලක් කිරීමට හැකි වන පරිදි ඒවා භාර දීම බොහෝ අවස්ථාවලදී කරන දෙයක්.”
“රැඳවියන් වෙත එම ඇඳුම් ඒ මොහොතේ ම ආපසු ලබා නොදෙන්නේ, ඔවුන් ත්‍රස්ත අරමුණු සඳහා භාවිත කළ හැකි ද්‍රව්‍ය (පිහි වැනි) සඟවා තබා ගනු ඇතැයි වන සැකය නිසා ය. ඒ සැකය දුරු කර ගැනීමට හැකි වූ විට රැඳවියන්ට ඔවුන්ගේ ඇඳුම් ආපසු ලබා දෙනු ලැබේ.”
වෛද්‍ය කාර්ය මණ්ඩලය පැවසුවේ, පසුව ඔවුන් රෝහල් ගොඩනැගිල්ලකට ගෙන ගොස් පහර දී අනතුරුව රැඳවුම් මධ්‍යස්ථානයකට ගෙන ගිය බව ත් ඒ සියලු අවස්ථාවලදී තමන් ඇඳුම් නොමැතිව සිටි බව ත් ය.
නාසර්හි නව පත්වීම් ලත් වෛද්‍යවරයෙකු සහ ස්වේච්ඡා වෛද්‍යවරයෙකු වන 26 හැවිරිදි වෛද්‍ය අබු සබා, රැඳවුම් භාරයේ සිටියදී තමන් සැලකුම් ලැබූ ඇතැම් අවස්ථා විස්තර කළේ, රැඳවියන් අඛණ්ඩව පැය ගණනක් සිටවා තැබීම වැනි වධහිංසා පැමිණවීමක් ලෙස ය. රැඳවියන්ට ලබා දුන් අනෙකුත් දඩුවම් අතර දීර්ඝ කාලයක් ඔවුන්ට මුනින්අතට වැතිර සිටීමට සැලැස්වීම සහ ඔවුන්ට ආහාර ලබා දීම ප්‍රමාද කිරීම ඇතුළත් බව ඔහු පැවසීය.
මානුෂීය නීතිය පිළිබඳ ප්‍රවීණයෙකු පැවසුවේ, බීබීසීය විසින් සම්මුඛ සාකච්ඡාවට ලක් කරන ලද වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාක්ෂි සහ දර්ශන සහ “අතිශයින් ම තැතිගන්වනසුලු” බව ය. බීබීසීය වෙත ලබා දී ඇති ඇතැම් තොරතුරු “ඉතා පැහැදිලිව ම කුරිරු හා අමානුෂික සැලකීමේ ගණයට අයත් වන” බව ඔහු පැවසීය.
බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර නීතිය සඳහා වූ මධ්‍යස්ථානයේ සම-අධ්‍යක්ෂක ආචාර්ය ලෝරන්ස් හිල්-කෝතෝන් මෙසේ පැවසීය: “ඒක දිගු කලක් තිස්සේ සන්නද්ධ ගැටුමකදී අදාළ වන නීතියේ ඉතා මූලික අදහසක් වූ දෙයට පටහැනියි. ඒ කියන්නේ, රෝහල් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂා කිරීම.”
“ඔවුන් සතුරු පාර්ශ්වයේ ජාතිකයින්ට ප්‍රතිකාර කාරනවා කියන කාරණය පදනම් කර ගෙන කිසිදු ආකාරයකට ඔවුන්ගේ ආරක්ෂාව අඩාල නොවිය යුතු යි,” ඔහු පැවසීය.
බීබීසීය සති කිහිපයක් පුරා මෙම රෝහලේ කතාව විමර්ශනය කරමින්, වෛද්‍යවරුන්, හෙදියන්, ඖෂධවේදීන් සහ රෝහල් භූමියේ කඳවුරු බැඳ සිටින අවතැන් වූවන් සමග කතා කළේ ය. ඔවුන් ලබා දුන් තොරතුරු අපි නැවත නැවතත් පරීක්ෂාවට ලක් කළෙමු.
රඳවා තබා ගැනුණු නාසර් වෛද්‍ය නිලධාරීන් 49 දෙනෙකුගේ නම් අපට වෙත ලැබිණි. ඉන් 26ක් නම් කරන ලද්දේ භූමියේ රාජකාරිවල යෙදී සිටින වෛද්‍යවරුන්, හමාස් සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය අමාත්‍යංශය, ජාත්‍යන්තර කණ්ඩායම් සහ අතුරුදහන් වූවන්ගේ පවුල් ඇතුළු බහුවිධ මූලාශ්‍ර මගිනි.
රඳවාගෙන පසුව නිදහස් කළ බව පවසන මෙම වෛද්‍යවරුන් තිදෙනා මීට පෙර ඔවුන්ගේ අත්දැකීම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නොමැත. අප දෙවතාවක් සම්මුඛ සාකච්ඡා කළ වෛද්‍ය අබු සබා ද ඔවුන් අතරට ඇතුළත් ය. ඔහු පැවසූ තොරතුරු නොවෙනස්ව පැවති අතර, අපි ඔහු ලබා දුන් තොරතුරුවල අඩංගු ප්‍රධාන කරුණු ස්වාධීනව තහවුරු කර ගත්තෙමු.
රෝහලේ සිටින තවත් වෛද්‍යවරුන් පස් දෙනෙකුගේ පවුල් බීබීසීයට පවසා ඇත්තේ, තම ආදරණීයයන් අතුරුදන් වී ඇති බව ය. මීට අමතරව, නාසර්හි සිටි වෛද්‍යවරුන් ඇතුළු පවුලේ සාමාජිකයින් අතුරුදහන් වී ඇති බව පවසන පුද්ගලයින්ගෙන් දුරකතන ඇමතුම් විශාල ගණනක් ලැබී ඇති බව ජාත්‍යන්තර රතු කුරුස කමිටුව බීබීසීයට තහවුරු කර තිබේ.
නාසර්හි රැඳී සිටි වෛද්‍යවරු පවසන්නේ, රෝහල තුළ අයිඩීඑෆ් ක්‍රියාත්මක කළ මෙහෙයුම නිසා රෝගීන් රැකබලා ගැනීමට නොහැකි වූ බව ය. සාමාන්‍යාධිකාරී වෛද්‍ය හවුත් පවසන පරිදි, අයිඩීඑෆ් පාලනය අත්පත් කර ගන්නා අවස්ථාව වන විට රෝගීන් 200කට ආසන්න සංඛ්‍යාවක් එහි ප්‍රතිකාර ලබමින් සිටි අතර, දැඩිසත්කාර ඒකකයේ සිටි රෝගීන් හය දෙනෙකු ද ඇතුළුව ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඔත්පළව පසුවූහ.
දැඩි ලෙස රෝගාතුර වූ රෝගීන් වෙනත් ගොඩනැගිලිවලට ගෙන යාමට නියෝග කෙරුණු ආකාරය, තම රාජකාරිවලින් ඉවත් කර ප්‍රශ්න කිරීම සඳහා රැගෙන යාම සහ තමන් කටයුතු කිරීමට පුහුණුව නොලද ආකාරයේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට පැවරීම, දැඩි සීමා කිරීම්, අපිරිසිදු තත්ත්වයන් යටතේ රාජකාරි කළ ආකාරය එහි රැඳී සිටීමට අවසර ලද කාර්ය මණ්ඩලය විසින් විස්තර කරනු ලැබී ය.
ඊශ්‍රායලයේ අත්පත් කර ගැනීමෙන් පසු උදා වූ දින කිහිපය තුළ රෝගීන් 13 දෙනෙකු මිය ගිය බව වෛද්‍යවරුන් වැඩි දෙනෙක් ප්‍රකාශ කළහ.
නාසර් රෝහලේ ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට අවශ්‍ය විදුලිය, ජලය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමැතිකම ඇතුළුව රෝහලේ පැවති තත්ත්වයන් හේතුවෙන් එම රෝගීන්ගෙන් බොහෝ දෙනෙකු මියගිය බව ඔවුහු පැවසූහ. අපට මෙය ස්වාධීනව තහවුරු කළ නොහැක. වෛද්‍යවරයෙකු විසින් සපයන ලද, මලුවල බහා ඇඳන් මත තබා තිබුණු මළ සිරුරුවල ඡායාරූප රෝහලේ වාට්ටුවකදී ගත් ඒවා බව අප තහවුරු කර තිබේ.
අයිඩීඑෆ් බීබීසීය වෙත පැවසුවේ, “රෝහලට සිය ගණනක් ආහාර සලාක සහ විකල්ප විදුලි ජනක යන්ත්‍රයක් සපයා ඇති අතර එමගින් අඛණ්ඩව රෝහලේ කටයුතු පවත්වා ගෙන යාමට සහ එහි සිටින රෝගීන්ට ප්‍රතිකාර කිරීමට හැකි වූ” බව ය.
අඛණ්ඩ ලබා දුන් විදුලි සැපයුම හේතුවෙන් අයිඩීඑෆ් මෙහෙයුම අතරතුර පවා රෝහලේ “අත්‍යවශ්‍ය කටයුතු” ක්‍රියාත්මක වූ බව ඔවුහු සඳහන් කළහ.
පෙබරවාරි 18 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ, රෝහලේ ආහාර සහ මූලික වෛද්‍ය සැපයුම් හිඟයක් පවතින බව ත්, එහි කටයුතු නවතා ඇති බව ත් ය. ඉතිරි රෝගීන් ගාසා තීරය අවට වෙනත් රෝහල් වෙත යොමු කෙරුණු අතර එහි සේවය කළ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඊට මද වේලාවකට පසු ඉන් පිටව ගියහ.
වෛද්‍යවරයා: ‘මම හිතුවේ මාව මරන්න යනවා කියලා’
නිදහස් කරන ලද රැඳවියන් සහ අනෙකුත් වෛද්‍යවරුන් බීබීසීයට පැවසුවේ, මුබාරක් නම් වූ මාතෘ ගොඩනැගිල්ල අයිඩීඑෆ් විසින් ප්‍රශ්න කිරීම් කළ සහ කාර්ය මණ්ඩලයට පහර දෙන ලද ස්ථානය බවට පත් වූ බව ය. වෛද්‍ය අබු සබා පැවසුවේ, වැටලීමෙන් පසු ඔහුට මුලිදී රෝගීන් සමග රැඳී සිටීමට ඉඩ ලබා දුන් නමුත් පසුව මුබාරක් ගොඩනැගිල්ල වෙත ගෙන ගිය බව ත් ය. එය “එය වධකාගාරයක් වැනි ස්ථානයක්” බවට පත් වූ බව ඔහු පැවසීය.
“උන් මාව පුටුවක වාඩි කෙරෙව්වා. පෝරකයට අරන් ගියා වගේ,” ඔහු පැවසීය. “මට ලණුවල සද්ද ඇහුණා, ඒ නිසා මම හිතුවේ මාව මරන්න යනවා කියලා.
“ඊට පස්සේ උන් බෝතලයක් කඩලා ඒකෙන් (වීදුරු) මගේ කකුල කපලා ලේ ගලන්න දාලා ගියා. පස්සේ උන් වෛද්‍යවරුන් එක එක්කෙනා ගෙනල්ලා එක්කෙනෙකුට එහායින් එක්කෙනෙක් වෙන්න තියන්න පටන් ගත්තා. මට ඒ අයගේ නම් සහ කටහඬවල් ඇහුනා.”
අයිඩීඑෆ් බීබීසීයට පැවසුවේ, “රැඳවියන් යොදා ගෙන ව්‍යාජ ලෙස මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම හෝ එවැනි බිය ගැන්වීක් කර නොමැති බව ත් එවැනි ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන” බව ත් ය.
බීබීසීය සමග කතා කළ රැඳවියන් තිදෙනා ම කියා සිටියේ, තමන් හමුදා වාහනවලට නංවාගෙන විශාල කණ්ඩායමක් ලෙස ප්‍රවාහනය කළ අවස්ථාවේදී පවා පහර දීම්වලට ලක් වූ බව ය. සෙබළුන් ඔවුන්ට මුගුරු, හෝස්, රයිෆල් කඳන් සහ අත් මිට මොළවා පහර දුන් බව ඔවුහු පැවසූහ.
“අපි හිටියේ නිරුවතින්. යට ඇඳුම් විතරයි ඇඳගෙන හිටියේ. එක්කෙනා උඩ එක්කෙනා උන් අපිව ගොඩගැහුවා. ඊට පස්සේ උන් අපිව ගාසාවෙන් එළියට අරගෙන ගියා,” නම සඳහන් කිරීමට අකමැති එක් වෛද්‍යවරයෙක් පැවසීය. “යන මග පුරාවට ම උන් අපිට ගැහුවා, කුණුහරුප කියලා බැන්නා, අපට නින්දා කළා. පස්සේ උන් අපේ ඇඟට සීතල වතුර වැක්කෙරුවා.”
වෛද්‍ය අබු සබා පැවසුවේ, ගමන අතරතුර සෙබළුන් රැඳවියන් රථයෙන් පිටතට ගත් බව ය. “උන් අපව බොරළුවලින් වැහිලා තියෙන බිම් කෑල්ලට අරගෙන ගිහින් අපට දණ ගහගන්න කියලා ඇස් බැන්දා… එතන වළක් තිබුණා, අපි හිතුවේ උන් අපිව මරලා මෙතන වළලාවි කියලා. අපි හැමෝම යාච්ඥා කරන්න පටන් ගත්තා.”
පසුව ඔහු සහ ඔහු සමග සිටි අනෙකුත් රැඳවියන් රඳවා තැබුණු ගොඩනැගිල්ලකට ඔහුව රැගෙන ගිය බව ඔහු පැවසීය.
නිදහස් කරන ලද අනෙක් රැඳවියන් දෙදෙනා කියා සිටියේ, ඇතැම් අවස්ථාවලදී තමන් වෛද්‍ය පරීක්‍ෂණවලට භාජනය කර නමුත් ප්‍රතිකාර ලබා නොදුන් බව ය. එක් අයෙකු පැවසුවේ, තුවාලයකට ප්‍රතිකාර කරනවා වෙනුවට අයිඩීඑෆ් භටයෙකු ඔහුගේ තුවාල වූ තැනට පහර දුන් බව ය.
වෛද්‍ය අබු සභා බීබීසීයට පැවසුවේ, ඔවුන් [අයිඩීඑෆ්] විසින් ම වැරදි ලෙස නිර්වචනය කරන ලද හැසිරීම් සඳහා ද නිතර දඬුවම් කළ බව ය. “එක වෙලාවක මගේ ඇස් බැඳලා තිබුණු පටිය ටිකක් පහළට ගියා. ඒ වෙලාවේ මගේ අත් දෙක පිටිපස්සෙන් මාංචු දාලා තිබ්බ නිසා මට ඒක හදන්න බැරි උණා.
“උන් මාව දඬුවම් කරන්න අරගෙන ගියා… මට පැය තුනක් ඔළුවට උඩින් අත් දෙක උස්සගෙන බිම බලාගෙන ඉන්න උණා. ඊට පස්සේ, එතන හිටපු කෙනා [සෙබළෙක්] මට ළඟට එන්න කිව්වා. මම ගියාට පස්සේ ඌ මගේ අත කැඩෙනකම් ගැහුවා.”
එදින ම පසුව තමන් වැසිකිළියට ගෙන ගොස් පහර දී, කටකලියා දැමූ සුනඛයින් යොදා ගෙන හිංසනයට ලක් කළ බව ඔහු පැවසීය.
ඊට පසු දින, ඊශ්‍රායල වෛද්‍යවරයකු ඔහුගේ කැඩුණු අතට ප්ලාස්ටර් වෙළුමක් යෙදූ අතර පසුව සෙබළෙකු එහි ‘ස්ටාර් ඔෆ් ඩේවිඩ්’ [යුදෙව් සංකේතය] සලකුණ ඇඳි බව ඔහු පැවසීය. මෙම වෙළුම පසුව ගාසාහි වෛද්‍යවරයකු විසින් මාරු කරන ලද අතර අහමඩ් බීබීසී සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී සිටියේ ප්ලාස්ටර් වෙළුමද සහිතව ය.
රඳවා තබා ගැනීමෙන් පසු වෛද්‍ය අබු සභා එක්ස්-කිරණ පරීක්ෂණයට භාජනය වුණු බව ත් ගාසාහි තාවකාලික රෝහලකදී ඔහු කැඩුණු අතක් සඳහා ප්‍රතිකාර ලබා ගත් බව ත් මෙන් ම, ඔහු එහි පැමිණියේ ‘ස්ටාර් ඔෆ් ඩේවිඩ්’ සලකුණ අඳින ලද වෙළුමක් සහිතව බව ත් බීබීසිය තහවුරු කර ගත්තේ ය.
වෛද්‍ය අබු සභාගේ අතට යෙදූ වෙළුම පිළිබඳ බීබීසීයේ ප්‍රශ්නවලට අයිඩීඑෆ් පිළිතුරු ලබා නොදුන්නේ ය.
වෛද්‍යවරුන් තිදෙනාගෙන් කිසිවෙකු හෝ තමන්ට එරෙහි නිශ්චිත චෝදනාවක් පිළිබඳව නොදැන සිටි නමුත් දෙදෙනෙකු පැවසුවේ, ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් ප්‍රාණ ඇපකරුවන් හෝ හමාස් සටන්කාමීන් රෝහල තුළ දුටුවේ ද යන්න පිළිබඳව අවධානය යොමු කළ බව ය.
හමාස් තුවක්කුකරුවන් ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට කඩා වැදී පුද්ගලයන් 1,200ක් පමණ ඝාතනය කර තවත් 253 දෙනෙකු ප්‍රාණ ඇපයට ගත් ඔක්තෝබර් 7 වන දින ඔවුන් සිටින ස්ථානය ගැන ද ඔවුන්ගෙන් විමසූ බව ඔවුහු පැවසූහ. ප්‍රාණ ඇපකරුවන් 130කට වැඩි පිරිසක් තවමත් හමාස් සංවිධානය විසින් රඳවාගනු ලැබ සිටින බවට විශ්වාස කෙරේ. ඔවුන්ගෙන් අවම වශයෙන් 30 දෙනෙකු පමණ මියගොස් ඇති බව ඊශ්‍රායල බලධාරීන් පවසා තිබේ.
ගාසා තීරයේ හමාස් සංවිධානය පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ, ඊශ්‍රායලය පළිගැනීමේ අදහසින් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් සහ ඔවුන් ක්‍රියාත්මක කරන ගොඩබිම් ප්‍රහාරවලින් පුද්ගලයන් 31,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ය.
නිදහස් කරන ලද රැඳවියන්ගෙන් එක් අයෙකු පැවසුවේ, ප්‍රශ්න කිරීමෙන් දින දෙකකට පසු අයිඩීඑෆ් නිලධාරීන් තමාට එරෙහිව සාක්ෂි නොමැති බව ත් ඔහු නිදහස් කරන බව ත් ප්‍රකාශ කළ බව ය.
“මම ඒ මිනිහගෙන් ඇහුවා ම, ‘මේ කිසි ම දේකට මං සම්බන්ධ නෑ කියලා දැනගෙන ඉඳලත් උඹලා මට කරපු, හැම පහර දීමකට ම සහ නින්දාවකට ම මට වන්දි ගෙවන්නේ කවු ද?’ කියලා, ඌ මුමුණන්න පටන් ගත්තා, ‘ඔබට එරෙහිව මට සාක්ෂි කිසිවක් නැහැ, චෝදනාවක් නැහැ,'”
වෛද්‍ය අබු සබා බීබීසීයට පැවසුවේ, ඔහුගේ දින අටක රැඳවුම් කාලය තුළ ඔහුගෙන් කිසි විටෙකත් ප්‍රශ්න නොකළ බව ය.
අප සමග කතා කළ වෛද්‍යවරුන් තිදෙනා පවසන්නේ, නිදහස් කිරීමෙන් පසු ඔවුන්ගේ ඇස් බැඳ නැවත ගාසා වෙත ප්‍රවාහනය කළ බව ය.
ගාසා තීරය, ඊශ්‍රායලය සහ ඊජිප්තුව හමුවන තීරයේ දකුණු කෙලවරට නුදුරින් පිහිටි ඊශ්‍රායල පාලනය යටතේ පවතින කාරෙම් ෂලෝම් හරස් මාර්ග ඔස්සේ ඔහු නැවත ගාසා තීරයට පැමිණි බවට වෛද්‍ය අබු සබාගේ ප්‍රකාශය බීබීසීය තහවුරු කර ඇත.
අයිඩීඑෆ් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් බීබීසීය වෙත ලබා දෙන ලද වෙන ම ප්‍රකාශයක් හා සසඳා බැලීමේදී වෛද්‍යවරුන් ලබා දුන් තොරතුරු පරස්පර වේ. නාසර් රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයෙන් “මෙන්න මේ, නැත්නම් අර බුද්ධි තොරතුර ගන්න පුළුවන් කියලා අපි දැනගෙන හිටියා නම් මිසක” ඔවුන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොවූ බව ඔහු පැවසීය.
“ඔවුන් සතුව තොරතුරු තියෙනවා කියලා උපකල්පනය කරන්න තරම් අපට සාධාරණ සාක්ෂි තිබුණා, අන්න ඒ නිසා අපි ඔවුන් ප්‍රශ්න කරන්න අරගත්තා, හැබැයි එතනින් එහාට දෙයක් වුණේ නැහැ,” එම නිලධාරියා පැවසීය.
“මාංචු දැම්මේ නැහැ, අපි ඔවුන් අරන් ගියේ රඳවලා තියාගෙන දීර්ඝ වෙලාවක් ප්‍රශ්න කරන්න හෝ අත්අඩංගුවට ගැනීමක් සිද්ධ කරන්න නෙවෙයි. අපි ඔවුන් අරගෙන ගියේ සරලව ප්‍රශ්න කරලා රෝහලේ හිටපු ප්‍රාණ ඇපකරුවන් හෝ හමාස් අණ දෙන නිලධාරීන් ගැන තොරතුරු ගන්න උත්සහ කරන්න… ඉතා සරල ප්‍රශ්න කිරීමක් ඒක, එච්චරයි.”
ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයෙන් ප්‍රාණ ඇපයට ගත් ඇතැම් පුද්ගලයින් ගිලන් රථයකින් නාසර් රෝහල් සංකීර්ණයට ගෙන ආ අයුරු විස්තර කර ඇත. මුදා හරින ලද ප්‍රාණ ඇපකරුවෙකු පැවසුවේ, ගාසා තීරයේ සිටින ඇගේ සැමියා මළ සිරුරක් මෙන් පෙනෙන පරිදි ඇතිරිල්ලකින් ආවරණය කර ඇති බව ය.
කුඩා කාමරවල රඳවා තබා වැසිකිළි යාමට අවශ්‍ය නම් දොරට තට්ටු කිරීමට බල කෙරුණු ආකාරය ගැන ඔවුන් විස්තර කර තිබේ. එක් අයෙකු ඇය ප්‍රාණ ඇපයේ සිටි කාලය විස්තර කර ඇත්තේ “මනෝ යුද්ධයක්” ලෙසිනි.
ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (අයිසීආර්සී) පවසන්නේ, ඔක්තෝබර් 7 වන දා සිට ඊශ්‍රායලය විසින් තමන් වෙත රැඳවියන් නිරීක්ෂණය කිරීමට ලබා දී තිබුණු අවසරය අත්හිටුවනු ලැබ ඇති බව ත් ඒ හේතුවෙන් කිසිදු රැඳවියෙකු බැලීමට යාමට නොහැකි වූ බව ත් ය.
ඔවුන් බීබීසීයට පැවසුවේ, අත්අඩංගුවට ගැනීම් සහ වෛද්‍යවරුන් අඛණ්ඩව රඳවා තබා ගැනීම පිළිබඳ වාර්තා ගැන තමන් “දැඩි කනස්සල්ලට” පත්වන බව ය.
“ඔවුන් කොතැනක සිටියත් කවුරුන් හෝ වේවා, රැඳවියන්ට ජාත්‍යන්තර මානුෂීය නීතියට අනුකූලව සෑම විට ම මානුෂීයව හා ගෞරවයෙන් සැලකිය යුතු යි,” යනුවෙන් එම සංවිධානය පැවසීය.
“අයිසීආර්සී විසින් රැඳවියන්ට සැලකීම සහ ඔවුන් රඳවා තබා ගෙන ඇත්තේ කිනම් තත්ත්වයක් යටතේ ද යන්න නිරීක්ෂණය කිරීම සඳහා රැඳවුම් චාරිකා සිදු කිරීමට නැවත නැවතත් ඉල්ලීම් කරනු ලැබ ඇති අතර අපි එම චාරිකා වහා ම නැවත ආරම්භ කිරීමට සූදානමින් සිටිමු.”
බීබීසීය විසින් නිරීක්ෂණය කරන ලද එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර වාර්තාවක, යුද්ධය ආරම්භයේ සිට ම ග්‍රහණයේ සිටි ඊශ්‍රායල තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන තුළදී ප්‍රශ්න කිරීම්වලට භාජනය කර ලද පලස්තීනුවන් වැඩි ගණනකට සිදු වූ අපයෝජන ගැන විස්තර කර ඇති අතර ඒවා මෙම වෛද්‍යවරුන් දුන් ප්‍රකාශ හා සමානකම් කියයි. ජලය, වෛද්‍ය ප්‍රතිකාර සහ ඇඳ ඇතිරිලි සඳහා ප්‍රවේශය ලබා නොදීම ඇතුළු එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සඳහන් ඇතැම් චෝදනා අයිඩීඑෆ් මීට පෙර ප්‍රතික්ෂේප කර ඇත.
‘අපහසුවෙන් ක්‍රියාත්මක වන’ නාසර් රෝහල වෙත යළිත්
මේ අතර, නාසර් රෝහලේ වෛද්‍යවරුන් කිහිප දෙනෙකුට රැඳී සිටීමට සහ එහි ඉතිරිව සිටින රෝගීන් රැකබලා ගැනීමට අවසර ලැබිණි.
සාමාන්‍යාධිකාරී වෛද්‍ය හවුත් පවසන පරිදි, [රෝහල] වැටලීම සිදුවන අවස්ථාවේ ඇතැම් රෝගීන් රඳවා ගෙන තිබිණි.
නාසර්හි ඇසින් දුටු සාක්ෂිකරුවෙකු අප වෙත ලබා දුන් එක් වීඩියෝවක, අයිඩීඑෆ් සෙබළුන් විසින් ‘සිප් ටයිවලින්’ බැඳි දෑත් සිය හිසට ඉහළ ඔසවා ගෙන සිටින රෝගීන් දෙදෙනෙකු වැතිර ඉන්නා ඇඳන් දෙකක් තල්ලු කරගෙන යනු ලබන ආකාරය සටහන් වී තිබේ. අපි එය සත්‍ය බවට තහවුරු කර ඇත්තෙමු.
අයිඩීඑෆ් විසින් ප්‍රකාශයට පත් කරන ලද වෙනත් දර්ශන කිහිපයක, මිනිසුන් රෝහල් භූමියේ වූ ඇඳන් මත දෑත් ‘සිප් ටයිවලින්’ බැඳ, ඒ හා සමාන ඉරියව්වකින් අත් ඉහළට ඔසවාගෙන වැතිර සිටින අයුරු දැකිය හැකි ය.
අයිඩීඑෆ් මෙසේ පැවසීය: “ත්‍රස්තවාදයට සම්බන්ධ යැයි සැකයක් නොමැති රෝගීන්ගේ දෑත් බැඳ නොතිබූ බව අපි අවධාරණය කරමු.”
ගොඩනැගිල්ලෙන් පිටව නොයන ලෙසට වූ නියෝග නොතකා කටයුතු කළහොත් තමන් වෙඩි තබා ඝාතනය කෙරෙනු ඇතැයි ඉතිරිව සිටි වෛද්‍යවරුන් බිය වූ බව නාසර්හි ද සේවය කළ වෛද්‍ය හහීම් රබා පෙබරවාරි 22 වන දින දුරකතන ඇමතුමක් ඔස්සේ පසුබිමින් ඇසුණු පිපිරුම් හඬ මධ්‍යයේ බීබීසීයට පැවසීය. කෙසේ වෙතත්, එය නොතකා ඔවුන් ජලය ගෙන ඒමට රෝහල් භූමිය වෙත ගියේ, එසේ නොවුණහොත් රෝගීන් මිය යනු ඇතැයි වූ බිය නිසා යැයි ඔහු පැවසීය.
“මිනිස්සු පිපාසය නිසා මිය යමින් සිටියේ. මිනිස්සුන්ට බොන්න දෙන්න මම වතුර ගැලුම් තුනක් මගේ මේ කරේ තියාගෙන අරන් ආවා. මම වෙන මොනවා කරන්න ද?”
මෙහෙයුමෙන් පසු මියගිය රෝගීන්ගේ සිරුරු භූමදාන කිරීමට හෝ එහා මෙහා ගෙන යාමට පවා අයිඩීඑෆ් අවසර නොදුන් බවට වෛද්‍යවරුන් කිහිප දෙනෙක් ම පැවසූහ. මළ සිරුරු නරක් වීමට පටන් ගත් අවස්ථාවේදී පවා ඒවා තිබුණේ කාර්ය මණ්ඩලය සහ රෝගීන් සිටි තැන්වල බව ඔවුහු පැවසූහ.
“ඒ ගඳින් මුළු වාට්ටුව ම පිරිලා ගියා,” වෛද්‍ය රබා පැවසීය. “ලෙඩ්ඩු කෑගැහුවා ‘අනේ මේවා මෙතනින් අයින් කරන්න,’ කියලා. මම එයාලට කිව්වේ, ඒක ‘මගේ අතේ තියෙන දෙයක් නෙවෙයි කියලා,'”
වෛද්‍ය රබා රෝගීන් සමග රැඳී සිටීමට තෝරාගත් කුඩා වෛද්‍ය කණ්ඩායමෙන් කෙනෙකි. තමන් ද යට ඇඳුම දක්වා ඇඳුම් ඉවත් කර හදිසි ප්‍රතිකාර අංශය ඉදිරිපිට දණ ගැස්වූ බව ත්, නමුත් පසුව තමා රැගෙන ගියේ රෝගීන් සිටින ගොඩනැගිල්ලට බව ත් ඔහු පැවසීය.
රෝහල් භූමියේ තනිකර ගිය තම සගයන්ට සිදු වූයේ කුමක්දැයි තමා නොදන්නා බව ඔහු පැවසීය.
බීබීසීය ඊශ්‍රායල හමුදාවට මෙම චෝදනා සම්බන්ධයෙන් සවිස්තරාත්මක ලෙස ප්‍රශ්න යොමු කළේ ය.
ඊට ප්‍රතිචාර දක්වමින් අයිඩීඑෆ් බීබීසීයට පැවසුවේ, “වෛද්‍ය කණ්ඩායම් ලෙස පෙනී සිටි ඇතැමුන් ඇතුළුව ත්‍රස්තවාදීන් සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සැකකරුවන් 200ක් පමණ රඳවාගෙන සිටි” බව ය. “බොහෝ ආයුධ මෙන් ම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් වෙනුවෙන් යොදා ගැනීමට වෙන් කර තිබුණු බවට සැක කෙරෙන විවෘත නොකරන ලද ඖෂධ සොයා ගත් බව” ඔවුහු පැවසූහ.
ඔවුන් කියා සිටියේ ඔවුන් “නිශ්චිතව හා ඉලක්කගතව, රෝහලේ ක්‍රියාකාරකම්වලට අවම හානියක් සිදුවන ලෙසට සහ රෝගීන්ට හෝ වෛද්‍ය කාර්ය මණ්ඩලයට හානියක් නොවන පරිදි” ක්‍රියාත්මක වූ බව ය.