මළ ගෙදර සූදු කෙලින මහ බැංකුවට මන්ත්‍රීන්ගෙන් චෝදනා

0
මළ ගෙදර සූදු

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් සියයට හැත්තෑවකින් පමණ වැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ  නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී  ජගත් කුමාර සුමිත්‍රආරච්චි  මහතා පැවසුවේ සාමාන්‍ය මිනිස්සුන්ට රුපියල් සීයක් දෙසීයක් වැඩි කරන්න ගියාම  මහා බැංකුවේ මුදල් අමාත්‍යාංශය අය පට්ට විදියට විරුද්ධ වෙන බවයි.

එහෙම කරන අය ඒගොල්ලන්ට ලක්ෂ ගණනින් බෙදාගෙන ඇති බවත් මෙය මහා අපරාධයක් බවත් ඔහු කීවේය.

පාර්ලිමේන්තු බලය පාවිච්චි කර සැමට සාධාරණයක් කරන්න  යැයිද  ඔහු සඳහන් කළේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

ඒ අයගේ පඩි වැඩි කරගන්න හැකියාව තියෙන්නෙ මොන පනතෙද. මට පෙන්නන්න වගන්තිය. සියයට 70 කින් පඩි වැඩිකරගෙන තියෙනවා. එම නිලධාරින් පාර්ලිමේන්තුවට කැඳවලා මේ ගැන අහන්න ඕන.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා.

මේ ගැන පාර්ලිමේන්තු බලතල අනුව කටයුතු කරන්න පුළුවන් මුදල් කාරක සභාවට කැඳවන්න  පුළුවන්. ඒ ගැන කිසිදු ගැටළුවක් නැහැ

මේ ආර්ථික වැඩපිළිවෙලට මුදල් අමාත්‍යාංශය වගේම  මහා බැංකුව විශාල දායකත්වයක් දැක්වූවා. මහා බැංකුවේ අනූ දෙනකු පිටරට ගිහිල්ලා. ඒ අය රඳවා ගන්න අපිට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න වෙනවා.

ජනතාවට අමාරුම යුගය අපි පහු කරනවා. රාජ්‍ය  ආදායම වැඩිකර ගන්න වෙලා තියෙන්නෙ බදු වලින්. රාජ්‍ය ආදායම ශක්තිමත් කරන්නේ කවුරුන් වෙනුවෙන්ද. මළ ගෙදර සූදු කෙලින්න ලෑස්ති වෙන්න එපා.