ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට

0
කෙහෙළිය රඹුක්වැල්ල

ඒ, අමාත්‍යවරයාගෙන් අද පැය 10කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුවයි.

රඹුක්වැල්ල මහතා මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ අද පෙරවරු 09ට පමණ ය.

අමාත්‍යවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ ලබාදුන් නියෝගයට අනුවයි.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධයෙන් වූ නඩුව ඊයේ පස්වරුවේ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ දී යළි කැඳවුණු අතර, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට CIDය හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දන්වා තිබිය දී ඔහු ඒ සඳහා නොපැමිණ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ බවට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය එහි දී අධිකරණයට කරුණු ඉදිරිපත් කළා ය.

ඒ අනුව ඇය සිදු කළ ඉල්ලීමක් මත මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට නියෝග කළේ, අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසයි.

ඒ, අමාත්‍යවරයාගේ විදෙස් ගමන් තහනම් ද කරමිනි.

එම නියෝගය ඇතුළත් ලිපිය විමර්ශන නිලධාරින් ඊයේ පස්වරුවේම අමාත්‍යවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවස වෙත ගොස් භාරදුන් අතර, අමාත්‍යවරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ඒ අනුවයි.