මම අභියෝග භාරගන්න කැමති කෙනෙක් , සමහර අවස්ථාවලදී සිමාවන් තියෙයි. – අභිලාෂි ශන්තුෂ්කි ජයතිලක

0
අභිලාෂි ශන්තුෂ්කි ජයතිලක

අභිලාෂි ශන්තුෂ්කි ජයතිලක කියන්නේ 2024 අවුරුද්දේ රිදී තිරයට එකතු වෙන අලුත්ම මුහුණක්. ඇය සිනමාවේ අභිසෙස් ලබන්නේ වංග මහරජතුමන්ගේ සොළොස් වියැති දියණිය වූ සුප්පා කුමරිය ලෙසිනි. ඒ සෝමරත්න දිසානායකයන්ගේ සිංහබාහු සිනමා සිත්තම හරහායි. නුදුරේම ප්‍රේක්ෂක ඔබට දකින්නට ලැබෙන ඒ සිනමා නිර්මාණය තුළින් ලාංකීය සිනමාවට හඳුන්වා දුන් අභිලාෂි ශන්තුෂ්කි ජයතිලක සමගයි මෙවර කතාබහ.

2024 ඔබට වාසනාව ගෙනෙන වසර වෙයි?

ඔව්. අනිවාර්‌යෙන්ම, මම රංගනයෙන් දායක වුණු මුල්ම සිනමා නිර්මාණය වන සිංහබාහු සිනමාපටය මේ වසරේදී ප්‍රේක්ෂකයින්ට දැකගන්න පුළුවන්.

අභිලාෂි ශන්තුෂ්කි ජයතිලක

කොහොමද සුප්පා කුමරිය වුණේ?

මම පාසලේ දී නට්‍යය හා රංගකලාව හැදෑරුවා. ඉංග්‍රීසි ඩ්‍රාමා, ශේක්ෂ්පියර් ඩ්‍රාමා සහ සිංහල ඩ්‍රාමාවලට සහභාගි වෙලා තරගවලින් දිනලා හොඳම නිළිය ලෙස ජයග්‍රහණ ලබලා තියෙනවා. මම පාසලේ 10 වසරේ ඉන්න කාලේ ඩ්‍රාමා පුහුණු කරන්න Act 4; theatre for change ආයතනයෙන් අපේ පාසලට ආවා. ඒ ආව කණ්ඩායමේ අපිව පුහුණු කරන්න බුද්ධි රන්දෙණිය අක්කාත් හිටියා. ඒ වෙද්දී ඇය සෝමරත්න සර්ගේ ජංගි හොරා චිත්‍රපටයේ රඟපාල තිබුණා. අපිව පුහුණු කිරීම් කටයුතුවලදී අපේ දක්ෂතා හඳුනාගැනීමෙන් පස්සේ අපිත් සමග බොහොම හොඳ සමීප සබඳතාවක් ගොඩ නැගුණා. ඔය අතරේ සෝමරත්න සර්ගේ අලුත් චිත්‍රපටයට අලුත් ගැහැණු ළමයෙක් හොයනවා කියලා මට කිව්වා ඔයත් ඔඩිෂන් එකට තේරුණොත් හොඳයි කියලා. ඉතින් මම ගියා. මාව ඔඩිෂන් එකකට අරන් මට කිව්වා සෝමරත්න අන්කල් ඔයාව තෝරා ගන්නවා කියලා.

අභිලාෂි පාසල් ගියේ කොහෙද?

කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයට.

පාසලේදී කොහොම චරිතයක් ද?

මම ඉස්කෝලෙ යන කාලෙ නොකරපු දෙයක් නැති තරම්, ඩාන්සින් සහ මියුසික් කළා, වෙස්ටන් බෑන්ඩ් එක ප්ලේ කළා. ඊස්ටන් බෑන්ඩ් එකටත් මට ලීඩර් හැටියට ආරාධනා ලැබිලත් තියනවා. පාසලේ මම උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වුණා. මට සිංදුත් කියන්න පුළුවන්. බාහිර වැඩ කරන ගමන් ඉගෙන ගන්න දේවල් පවා බ්ලෑන්ස් එකේ කළා.

අභිලාෂි ශන්තුෂ්කි ජයතිලක

දැන් අභිලාෂි මොකද කරන්නේ?

මට දැන් අවුරුදු 19යි. පාසලෙන් ඉවත් වෙලා තියෙන්නේ. ඉදිරියේදී මම සයිකොලජි සහ ෆැෂන් ඩිසයින් ඉගෙන බලාපොරොත්තුවෙන් ඉන්නවා.

සිංහබාහුහි රංගන වරම් ලැබුණාම ගෙදරින් මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබුණේ?

ඇත්තටම මට මීට කලිනුත් එක එක නිර්මාණවලට ඇරයුම් ලැබිලා තියෙනවා. ඒ එකකටවත් මම නොගියේ මට පොඩි කාලේ ඉඳන්ම උවමනාව තිබ්බා කලාවේ හොඳම දෙයකට සම්බන්ධ වෙන්න. කලාව කියන්නේ මගේ ෆැෂන් එක. මම මේකට ආදරෙයි.

සිංහබාහු කළාට පස්සේ ඇරයුම් වැඩි වුණාද?

ඔව්. ඇරයුම් නම් වැඩියි, හැබැයි මම කිසිම නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ. සිංහබාහු තිරගත වෙනකම් මම බොහොම ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. මම කැමතියි මුලින්ම සිංහබාහු චිත්‍රපටය තුළින් ප්‍රේක්ෂකයින් මාව දකින එකට. හිමින් ගමනක් යන්න තමයි මම කැමති.

අභිලාෂි ශන්තුෂ්කි ජයතිලක

ප්‍රවීණයන් එක්ක වැඩ කරන්න ලැබුණු අත්දැකීම කොහොමද?

සිංහබාහුහි රඟපාන කොට මට වයස අවුරුදු 17යි. මට ඇත්තටම පුදුමයක් මේක. ජැක්සන් ඇන්තනී මහතාට මම කුඩා කාලේ ඉඳන්ම මම ආදරෙයි. එතකොට සෝමරත්න දිසානායක මහතා සහ රේණුකා බාලසූරිය මහත්මිය එක්ක වැඩ කරන්න ලැබුණා කියන්නේ මගේ පොඩි කාලේ ඉඳන්ම තිබ්බ සිහිනයක් සැබෑ වීමක්. මට අවුරුදු 17දී ලැබුණු එකම මාරම ආඩම්බරයක්, ගෞරවයක් සහ සතුටක් ගෙන දුන්නා. මම ආස කරපු අකිල ධනුද්දර අයියා එක්ක මට රඟපාන්න තිබ්බේ. ඒ වගේම යශෝධා විමලධර්ම අක්කා, සජිත ඇන්තනි අයියා, දුශේනි අක්කා වගේ ප්‍රවීණයින් එක්ක මට රඟපාන්න ලැබුණේ…. ඒක මගේ අම්මා තාත්තාට වුණත් ලොකු පුදුමයක්.

අමතක නොවන අත්දැකීම් ඇති?

අපේ මේකප් ආටිස් විදුර අබේදීර අයියා සහ අපේ කොස්ටියුම් කරපු රෝෂිනි අක්කා මට මාරම සහයෝගයක් දුන්නා. එක තැනකදී මට තිබ්බා ගැබිනි අවධියක්. මට ඒ ගැන කිසිම අත්දැකීමක් නැහැනේ. විදුර අයියා මේකප්වලින් හදලා මට දාපු බඩ බොරු එකක් කියලා පේන්නෙම නැහැ. සෝමරත්න සර් සහ රේණු ආන්ටි මට කියලා දුන්නා කොහොමද අම්මා කෙනෙක් වගේ රඟපාන්නේ කියන එක. ඒ ගැබිනි අවධිය රඟ දැක්වීම මට අලුත් දෙයක් වගේම මට අද මතක් වෙද්දී මම කැමතිම කොටස. අමතක නොවන මතක අතර මුලින්ම මතක් වෙන්නේ ඒක. තව මම නිරුවතින් ස්නානය කරනවා වගේ කොටසක් තියෙනවා. ගැඹුරු තැනක අපි කළේ. හරිම සීතල ජලාශයක වතුරේ බැහැලා ගැහි ගැහි රඟපෑ හැටි තාමත් අමුතුම සතුටක් එක්ක මතකයේ තියෙනවා.

අභිලාෂි ශන්තුෂ්කි ජයතිලක

රංගනය තුළ දී සීමාවන් තියෙනවද?

මම අභියෝග භාරගන්න කැමති කෙනෙක්. ඒ නිසා ඕනෙම අභියෝගයක් භාරගන්න මම සූදානම්. හැබැයි සමහර අවස්ථාවලදී සිමාවන් තියෙයි කියලා හිතෙනවා. හොඳ නිර්මාණයක් නම් මට දැනෙන චරිතයක් නම් මම භාර ගන්නවා. රඟපානවා කියන්නේ අපිට ඕනෙම චරිතයකට හැඩ ගැහෙන්න පුළුවන් වෙන්න ඕනේ කියන එකනේ.

Aruna