කොල්ලුපිටියේ අබිරහස් ඝාතනයට සැකකරු කොටුකර ගැනේ

0
අබිරහස් ඝාතනයට

කොළඹ 07 කියන්නේ අපේ රටේ ධනවතුන් වැඩිහරියක් ජීවත්වන ප්‍රදේශයකි. මොහොමඩ් සියාම් වැනි මත්කුඩු ජාවාරම්කරුවෙක් ව්‍යාපාරික වෙස් ගෙන ජීවත් වූයේ ද කුරුඳු වත්තේ යැයි අමතක නොකළ යුතුය. තාරවත්ත නැමැති මුඩුක්කු නිවාස ද තිබුණේ කුරුඳුවත්තේය. එම මුඩුක්කු නිවාස කුරුඳුවත්තෙන් ඉවත් කරනු ලබන්නේ ද මෑතකදීය. ඒ එම මුඩුක්කු නිවාස කඩා බිඳ දමා එහි ජීවත් වූවෝ දෙමටගොඩ ආරාමය පාරේ පිහිටි සියපත් සෙවණ නම් වූ තට්ටු නිවාස සංකීර්ණයේ පදිංචියට යොමු කරවමිනි.

තාරවත්ත කලක් කුප්‍රකටව තිබුණේ තාරවත්තේ අජිත් නමැති පාතාල අපරාධකරු නිසාය. රෝහණ කුමාර නමැති මාධ්‍යවේදියා ඝාතනය කළා යැයි කියා පොලිසිය අත්අඩංගුවට ගත්තේ ද තාරවත්තේ අජිත්වය. ඒ එකල කොළඹ 07 ග්‍රෙගරි පාරේ පිහිටි අපරාධ විමර්ශන බියුරෝව විසිනි. කොළඹ අපරාධ කොට්ඨාසය ලෙස අද හඳුන්වනු ලබන්නේ එම බියුරෝවටය. එදා කුරුඳුවත්තේ පිහිටි එම බියුරෝවත් අද ඇත්තේ දෙමටගොඩය.

තාරවත්තේ වැසියන් දෙමටගොඩ සියපත් සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචියට යොමු කළ ද එම වත්තේ පදිංචි බොහෝ දෙනකුගේ ජීවිකාව රඳා පැවතියේ කුරුඳුවත්ත ආශ්‍රිතවය. ඇතැම් කතුන් සහ පිරිමින් කුරුඳුවත්තේ නිවාසවලට ගොස් පිරිසිදු කර කීයක් හරි ලබා ගත්තේය.

මහත් ආන්දෝලනයට තුඩු දෙමින් කුරුඳුවත්ත විජේරාම පාරේ පදිංචිව සිටි 75 හැවිරිදි මිත්‍රානි ප්‍රනාන්දුගේ අබිරහස් ඝාතනයට මේ වන විට කොටුවී සිටින්නේ තාරවත්තේ සිට සියපත් සෙවණේ පදිංචියට ගිය පුද්ගලයෙකි. නමින් ඔහු සෙල්ව කුමාර්ය. පනස් එක් හැවිරිදි වියේ පසුවන ඔහුව අත්අඩංගුවට ගනු ලබන්නේ විමර්ශනාත්මක සාක්ෂි ඔස්සේය. ඒ එම ඝාතනයෙන් සති දෙකක් ඉක්ම යමින් තිබියදීය.

මෙම ඝාතනය පොලිසියට වාර්තා වන්නේ පසුගිය වසරේ දෙසැම්බර් 15 වෙනිදා රාත්‍රී කාලයේදීය. ඒ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකිනි. එම තොරතුරෙන් කියැවෙන්නේ ඝාතනයක් ගැන නොව කුරුඳුවත්ත විජේරාම පාරේ අංක 82 නිවෙස මුළුමනින්ම ඒ වන විට අඳුරුව පවතින බවත් දොර ජනෙල් පවා විවෘතව ඇති බවත් කියමිනි.

සුවිසල් නිවෙසක් වූ මෙම නිවෙසේ ඒ වන විට ජීවත්වූයේ 75 හැවිරිදි මිත්‍රානි පමණී. ඇය සංගීත ගුරුවරියක් වූවාය. දක්ෂ පියානෝ වාදන ශිල්පිනියක් ද වූවාය. සැමියා ඖෂධ සම්බන්ධ ව්‍යාපාරයක නිරත වූවෙකි. ඔහු ජීවතුන් අතර නැත. සැමියා මිය ගිය පසු ඇය මෙම නිවෙසේ තනි වන්නේ ඇයට දරුවන් ද නොසිටි බැවිනි. ඇය සිය කාන්සිය පාළුව මකා ගත්තේ දරුවන්ට හා වැඩිහිටියන්ට පියානෝ වාදනය ඉගැන්වීමෙනි.

මිත්‍රානිගේ සහෝදරයා නීතිඥවරයෙකි. මේ වන විට ඔහුත් ඇයට වඩා වයස්ගත බැවින් දැන් ඔහු ජීවත් වන්නේ බණක් භාවනාවක් කරමිනි. එම නීතිඥ සහෝදරයාගේ පුතා ඉංජිනේරුවරයෙකි. විදෙස්ගතව බොහෝ කාලයක් ගත කර ඇති ඔහු දැන් පදිංචිව සිටින්නේ මොරටුව පැත්තේය. ඉදහිට කොළඹ පැමිණි විට එම ඉංජිනේරු පුතා ඔහුගේ ජිප් රථය නතර කර තබන්නේ මිත්‍රානිගේ නිවෙසේ ඇති ගරාජය තුළය. එදා 15 වෙනිදාත් ඔහු කොළඹ පැමිණ ජිප් රථය උදේම නතර කර තබන්නේ සිය නැන්දනියගේ නිවෙසේ ගරාජය තුළය. නැවත එය රැගෙන යාමට ඔහු එන්නේ රෑ බෝවීය.

මෙම නිවෙස පිහිටා ඇත්තේ විජේරාම මාර්ගයට යාබදවය. නිවෙස වටකර බැඳි තාප්පයේ එක් කොටසක් ඇත්තේ මාර්ගයට යාබදවය. ගෙවත්තට ඇතුළුවීමට ඇති ගේට්ටුව නිරන්තරයෙන්ම ඇත්තේ අගුල් දමා වසාය. කවුරුන් නිවෙසට ආවත් ඒ අයව මිත්‍රානි ඇතුළට ගන්නේ ඔවුන් කවුරුන්දැයි හඳුනා ගත් පසුව ගේට්ටුව විවර කරමිනි. එහෙත් එදා රෑ ඉංජිනේරු පුතා සිය ජිප් රථය රැගෙන යාමට පැමිණෙන විට ප්‍රධාන ගේට්ටුවත් සමඟ ඇති කුඩා ගේට්ටුව තිබෙන්නේ විවෘත කරය. එම ගේට්ටුව සිය නැන්දනිය විවෘත කර නොතබන බව දැන සිටි ඉංජිනේරු පුතාට ඇති වන්නේ සැකයකි.

එම සැකය වඩාත් ත්‍රීව්‍ර වන්නේ නිවෙසේ දොර ජනෙල් විවෘත කර ඇති අයුරු දැකීමෙන් හා ඒ වන විටත් නිවෙස දැඩි අඳුරේ තිබෙනු දැකීමෙනි. සිය නැන්දනිය විදුලි පහන් නොදල්වා අඳුරේ නොසිටින බව අවබෝධයකින් සිටි ඔහුට ඒ ගැන ඇති වන්නේ දැඩි සැකයකි. නිවෙස තුළට ගොස් පරීක්ෂා කරන්නට මත්තෙන් ඔහු ඒ බව අසල්වාසී නිවෙසකට ගොස් කීවේය. ඒ අතර මිත්‍රානිගෙන් පියානෝ වාදනය ඉගෙන ගැනීමට එන යන වැඩිහිටි සිසුවියක් ද එතැනට ආවාය. ඒ හැමෝම තීරණය කරනු ලබන්නේ පොලිසියට මුලින්ම මේ ගැන දැනුම්දීම සුදුසු යැයි කියාය. ඉංජිනේරු පුතා 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ ගැන කියන්නේ ඒ අනුවය.

මෙම දැනුම්දීමට අනුව මුලින්ම මෙතැනට එන්නේ කුරුඳුවත්ත පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමකි. ඒ රාත්‍රී 10.00ට පමණය. ඒ පැමිණි පොලිස් නිලධාරීන් නිවෙස තුළට ඇතුළු වන්නේ ජංගම දුරකතනවල ආලෝකයෙනි. නිවෙස තුළට ගොස් කළ පරීක්ෂාවේදී පොලිස් නිලධාරීන්ට පෙනී යන්නේ විදුලිය විසන්ධි වී ඇත්තේ ට්‍රිප් ස්විචයෙන් බවය. එම ස්විචය නැවත ක්‍රියාත්මක කර නිවෙසේ විදුලි පහන් දැල්වූ පොලිස් නිලධාරීන් දකින්නේ මුළුතැන් ගෙයත් සාලයත් අතර ඇති විවෘත ආලින්ද කොටසේ මුණින් අතට නිදි ඇඳුමින් වැටී සිටින මිත්‍රානිගේ සිරුරය. ඒ අසල පොළොව ඔප දමන යන්ත්‍රයක් ද පොලිස් නිලධාරීන්ට දක්නට ලැබුණේය. එම යන්ත්‍රයේ වයරය පළුදු වී ඇති අයුරු පවා පොලිස් නිලධරීන්ට නිරීක්ෂණය වන්නට වූ බැවින් අනුමාන කරන්නට වූයේ ඇය එම යන්ත්‍රයෙන් බිම පිරිසිදු කිරීමට යාමේදී විදුලිය වැදී ඇති බවය. ඊට කදිම සාක්ෂියක් වූයේ ට්‍රිප් ස්විචය ක්‍රියාත්මක වී තිබීමත් යන්ත්‍රය විදුලි පරිපථය හා සම්බන්ධ වී තිබීමත් හේතුවෙනි.

පොලිසිය ඉතා කෙටි වේලාවක් ඇතුළත 1990 සුවසැරිය ගිලන් රථයක් ගෙන්වීය. ඒ අය මුණින් අතට වැටී සිටි මිත්‍රානිව උඩුබෙලි අතට හරවනු ලැබීය. ඒ වන විට ඇගේ මුවින් රුධිරය වැගිරීමක් සිදුව තිබුණේ බිම පවා ලේ බිඳු කිහිපයකින් තෙත් වෙමිනි. ඇගේ පපු ප්‍රදේශයේ ද වැගිරුණු ලේ පැල්ලමක් එහිදී පොලිස් නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වූයේය. ඒ වන විටත් ඇයව පරීක්ෂා කරමින් සිටි සුවසැරිය සේවකයන් පොලිසියට දැනුම් දෙන්නේ ඇය ඒ වන විටත් සිටින්නේ මියගොසින් බවය.

එතැන් සිට පොලිසිය මෙම මරණය ගැන විමර්ශන ආරම්භ කරන්නට වූයේ සැක කටයුතු මරණයක් ලෙසිනි. සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට කොළඹ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට පොලිස් මෝචරියට රැගෙන යන්නේ ද අධිකරණයට කරුණු වාර්තා කර සිදු කළ යුතු වූ මූලික විමර්ශනයකින් අනතුරුවය. පශ්චාත් මරණ පරීක්ෂණය 16 වෙනිදා සිදු කළත් එහි වාර්තාව දිනෙන් දින ප්‍රමාද වන්නට වූ බැවින් ඇගේ මරණයට පැහැදිලි හේතුවක් නොමැතිව විමර්ශන පැවැත්වීම පොලිස් නිලධාරීන්ට ගෙන දුන්නේ ගැටලුවකි. ඒ ඇගේ මරණය විදුලි සර වැදීමකින් සිදුවූවක්ද යන්න පිළිබඳව වූ සැකයක් මතුවී තිබුණු බැවිනි. එබැවින් කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක තීරණය කරනු ලබනුයේ සැක කටයුතු මරණයක් ලෙස මෙම මරණය ගැන විමර්ශන පැවැත්වීමටය.

බොරැල්ල පොලිස් ස්ථානයේ පිහිටි කොළඹ දකුණ කොට්ඨාස අපරාධ ස්ථානීය පරීක්ෂණාගාරයේ නිලධාරීන් විජේරාම පාරේ පිහිටි මිත්‍රානිගේ නිවෙසට පැමිණ විමර්ශන ආරම්භ කරනු ලබන්නේ ඒ අනුවය. එහිදී විමර්ශන නිලධාරීන්ගේ දැඩි අවධානයට යොමු වන්නේ මුළුතැන්ගෙයි තිබුණු තේ කෝප්ප තුනක් සහ පොල් රොටි අටක් කෙරෙහිය.

තේ කෝප්ප තුන ඇත්තේ හිස්වය. තේ පානය කර සෝදා පිරිසිදු නොකළ ලක්ෂණ එයින් පෙන්නුම් කළේය. එක් තේ කෝප්පයක තේ අඩක් ඉතිරිව තිබුණේය. එහෙත් රොටි අට නම් කිසිවකුත් ආහාරයට ගත් බවක් විමර්ශනයේදී පෙනෙන්නට නොවීය. මෙහිදී කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන්ගේ විශේෂ අවධානයට යොමු වන්නට වූයේ තේ පානය කළ තිදෙනා කවුරුන්දැයි කියාය.

මේ අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍යවරයා පොලිසියට දැනුම් දෙන්නේ ඇගේ මරණය සම්බන්ධයෙන් තමන්ට දැන්ම තියා තීන්දුවක් ලබාදිය නොහැකි බවය. ඇගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දෙමින් සිරුරේ කොටස් අධිකරණ වෛද්‍යවරයා විසින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමු කරනු ලබන්නේ ඔහුට ඇතිවුණු යම් සැක කිහිපයක් විද්‍යාගාර පරීක්ෂණ තුළින් තහවුරු කර ගැනීමේ අපේක්ෂාව ඇතිවය.

මිත්‍රානිගේ මරණය සිදු වූ ආකාරය ගැන තීන්දුව ලබාදීමට රස පරීක්ෂකවරයාට යොමු කළ වාර්තාව ලැබෙන තුරු ප්‍රමාද කළත් අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පොලිසියට ඔත්තුවක් දුන්නේය. ඒ ඇගේ මරණය බොහෝ විට විදුලි සර හෝ ස්වභාවික එකක් නොවිය හැකි වූවක් විය හැකි බව තමා විශ්වාස කරන බවය. පපු ප්‍රදේශයේ ලේ තැවරී තිබුණ ද තුවාල කිසිවක් පපු ප්‍රදේශයේ නොමැති බව පවා පොලිසිය දැනුම්වත් කළ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කර තිබුණේ මුවින් වැගිරුණු රුධිරය පපු ප්‍රදේශයේ ගෑවී ඇති බවය. අධිකරණ වෛද්‍යවරයා විසින් පොලිසියට ලබා දුන් සුවිශේෂී ඔත්තුව වූයේ ඇගේ ගෙල ප්‍රදේශයේ සිර කිරීමක ලක්ෂණ මෙන්ම ඇය යම් පුද්ගලයකු සමඟ ලිංගික කටයුත්තක නිරත වූ බවට යම් සාධක ඇති බවය.

මේ තත්ත්වය මත මිත්‍රානිගේ මරණය ඝාතනයක් බවට වැඩි සැකයන් මතු වන්නට වූ බැවින් කොළඹ දකුණ කොට්ඨාසභාර පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිරංජන් අබේවර්ධන විසින් විමර්ශන කටයුතු පවරනු ලබන්නේ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙතය.

කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ලෙස සේවයේ නිරතව සිටින්නේ පොලිස් පරීක්ෂක අජිත් කුමාරය. මිත්‍රානිගේ අබිරහස් මරණය විසදීමේ කටයුත්තට අජිත් කුමාර මුල පුරන්නේ උප පොලිස් පරීක්ෂක මෙරිනෝ, සැරයන්වරුන්වන චන්දන (36919), මාලිංග (68039), විපුල (30861), කුෂාන්තන් (969631), මධුසංක (36591),ඉෂාර (104928), පොලිස් කොස්තාපල් රියැදුරු වර්ණසූරිය (99023) යන සිය කණ්ඩායම ද සමඟිනි. ඒ පසුගිය දෙසැම්බර් 20 වෙනිදාය. මෙහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෙරංජන් අබේවර්ධන හැරුණු කොට සහකාර පොලිස් අධිකාරීවරුන් වන අනිල් ජයන්ත හා කීර්තිසිංහ යන නිලධාරීන්ගෙන් ද අවශ්‍ය පහසුකම් හා උපදෙස් පවා මෙම නිලධාරීන්ට ලැබෙන්නට විය.

ඒ හැමෝගේම ශක්තිය ඇතිව අජිත් කුමාර ඇතුළු නිලධාරීන් මිත්‍රානිගේ මරණයේ අබිරහස විසඳීමට ආරම්භක පියවරක් තබන්නේ ඔවුන්ට ඒ වන විට ලද හොඳම තොරතුර උපයෝගී කරගෙනය. එම තොරතුරෙන් කියැවෙන්නේ 15 වෙනිදා පෙරවරු 10.00ට පමණ නිවෙසේ ඉදිරිපස කුඩා ගේට්ටුව විවෘත කරගෙන යම් පුද්ගලයෙක් පිටතට පැමිණ වේගයෙන් ගමන් කළ බවකි. කොට කලිසමක් හැදි ඒ පුද්ගලයා මෙරුන් පැහැති ටී ෂර්ට්ටුවකින් සැරසී සිටියෙකි. මේ පුද්ගලයාව දකින්නේ එදා මිත්‍රානිගෙන් පියානෝ වාදනය හැදෑරීමට දියණියක්ව රැගෙන පැමිණි ජිප් රථ රියැදුරෙකි. වයස අවුරුදු 15ක් පමණ වන එම දියණිය යමක් කමක් ඇති පවුලක දරුවෙකි. මිත්‍රානිගෙන් පියානෝ වාදනය හැදෑරීමට එම දියණිය එන්නේ කලක සිටය. එදාත් ඇයව සුපුරුදු ලෙස මිත්‍රානිගේ නිවෙස වෙත රැගෙන එන්නේ රියැදුරු විසිනි. ජිප් රථය නිවෙස ඉදිරිපිට නතර කර එහි නළාව නාද කරන විට නිවෙසින් පිටතට පැමිණ එහි ගේට්ටුව විවර කර දියණිය නිවෙස තුළට ගන්නේ මිත්‍රානි විසිනි. එහෙත් එදා ඇය ගේට්ටුව විවර කරන්නට ආවේ නැත. ඒ වෙනුවට නිවෙසින් පිටතට කුඩා ගේට්ටුව විවෘත කරගෙන ආවේ කොට කලිසම හැදි පුද්ගලයෙකි. ඔහු කිසිවක් නොකියා පදික වේදිකාව දිගේ වේගයෙන් ගමන් කරන අයුරු රියදුරු දුටුවේය.

එහි විශේෂත්වයක් රියැදුරුට නොවූවත් ඒ ගැන ඔහු පොලිසියට කියන්නට පෙලඹෙන්නේ මිත්‍රානිගේ මරණය ගැන දැන ගැනීමෙන් අනතුරුවය. එදා ගේට්ටුව අසල සිට කිහිප විටක්ම නලාව නාද කළත් ඇය පිටතට නොපැමිණි බැවින් රියැදුරු තීරණය කරනු ලබන්නේ දියණිය රැගෙන නැවත නිවෙසට යාමටය. ඒ යන අත‍රතුර මාර්ගයේ ගමන් කරමින් සිටි මිත්‍රානිගේ නිවෙසින් පිටතට ආ පුද්ගලයා මාර්ගයේ ගමන් කරනු දුටු රියැදුරු ජිප් රථය ඔහු අසලට කිට්ටු කරනු ලබන්නේ මැඩම් නිවෙසේ නොමැති දැයි අසන්නටය. එහෙත් ඊට පෙර ජිප් රථය කිට්ටු කරනවාත් සමඟ එම පුද්ගලයා දිව යන්නේ රියැදුරාට යම් සැකයක් මතු කරමිනි.

ඒ අනුව විමර්ශන නිලධාරීන් මෙහිදී උත්සහ දරනු ලබන්නේ මිත්‍රානිගේ නිවෙසේ සිට එදා කලබලයෙන් පිටව ගිය පුද්ගලයා කවුරුන්දැයි කියාය. ඒ බව දැන ගැනීමට මිත්‍රානිගේ නිවසේ ආරක්ෂක කැමරා කිසිවක් නොවීය. යමක් දැන ගැනීමට තිබුණේ අසල නිවාස දෙකක සවිකර ඇති ආරක්ෂක කැමරා පමණි. කොට කලිසමකින් සහ මෙරුන් පැහැති ටී ෂර්ට්ටුවකින් සැරසුණු එම පුද්ගලයාව ඒ අනුව හඳුනා ගැනීමට විමර්ශන නිලධාරීන්ට එතරම් අපහසු වූයේ නැත. උදෑසන 8.00ට පමණ මේ පුද්ගලයා නිවෙස අසල රැඳී සිටින අයුරු මෙන්ම මිත්‍රානි විසින් ගේට්ටුව විවර කර ඔහුව ඇතුළට ගන්නා අයුරු පවා හෙළි වන්නේ එවිටය.

මේ අතර මෙම නිවෙසේ මෙහෙකාර සේවයට පැමිණි කතක් පොලිසියට පවසා තිබුණේ නිවෙසේ ගෑස් සිලින්ඩර් දෙකක් තිබුණ ද එම ගෑස් සිලින්ඩර් දෙක ඇගේ මරණයත් සමඟ අතුරුදන්ව ඇති බවය. ඒ හැරුණු කොට ලැප්ටොප් පරිගණකයක් හා බොත්තම් ඔබන ජංගම දුරකතනයක්ද මිත්‍රානි සතුව තිබුණු බව ඇය විමර්ශන නිලධාරීන් හමුවේ කියා තිබුණාය. ඒ හැම දෙයක්ම මිත්‍රානිගේ මරණයත් සමඟ අතුරුදන්ව තිබුණු බැවින් විමර්ශන නිලධාරීන් සැක කරන්නට වූයේ ඇගේ මරණයට වගකිව යුතු පුද්ගලයා විසින් ඒවා සොරාගෙන ගොස් ඇති බවය.

එහෙත් උදෑසන 8.00ට පමණ නිවෙසට ඇතුළු වූ සැකයට ලක්වූ පුද්ගලයා පෙරවරු 10.00ට පමණ නිවෙසින් පිටව යන්නේ හිස් අතින් බව කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී පෙනී යන්නට වූ බැවින් විමර්ශන නිලධාරීන්ට ගෙන දුන්නේ ගැටලු ගොන්නකි. එදින සවස 3.00ට පමණ කහ පැහැති ටීෂර්ටුවකින් සැරසී කොට කලිසමක් හැදි පුද්ගලයෙක් මිත්‍රානිගේ නිවෙස අසලට පැමිණ රැඳී සිටින අයුරු නිරීක්ෂණය වන්නේ නැවත කළ කැමරා දර්ශන පරීක්ෂාවේදීය. එම පුද්ගලයා වෙන කිසිවකුත් නොව, මෙරුන් පැහැති ටී ෂර්ට්ටුවකින් සැරසී මිත්‍රානිගේ නිවෙසට උදෑසන 8.00ට පමණ ඇතුළු වී 10.00ට පමණ නිවෙසින් පිටව ගිය පුද්ගලයාමය.

මඳ වේලාවක් මෙම පුද්ගලයා ගේට්ටුව අසල රැඳී සිටියේය. අනතුරුව මාර්ගයේ ගමන් කරමින් තිබුණු ත්‍රීරෝද රථයක් නතර කර ගේට්ටුවෙන් ඇතුළට රිංගන ඔහු පිටතට එන්නේ ගෑස් සිලින්ඩර් දෙකක් රැගෙනය. එම සිලින්ඩර් දෙක වාහනයට පටවා ගන්නා ඔහු නැවතත් පිටතට පැමිණ වාහනයට ගොඩවන්නේ තවත් යමක් රැගෙනය.

විමර්ශන නිලධාරීන් ත්‍රිරෝද රථයේ ගමන් මඟ පරීක්ෂා කරන විට පෙනී යන්නට වූයේ එය ගමන් ගන්නේ දෙමටගොඩ දෙසට බවය. ඒ අතර ත්‍රීරෝද රථයේ අංකය හඳුනා ගෙන එහි හිමිකරු සොයා ගත්තේය. මිත්‍රානිගේ මරණයට වගකිවයුතු තැනැත්තාට විමර්ශන නිලධාරීන් කිට්ටු කරනු ලබන්නේ ත්‍රීරෝද රථ රියැදුරුගේ සහය ඇතිවය.

ගෑස් සිලින්ඩර් දෙක ත්‍රිරෝද රථයෙන් බාගෙන ඇත්තේ දෙමටගොඩ බේස්ලයින් පාරේ ගුවන් පාලම යටිනි. ඒ තැනට ගිය විමර්ශන නිලධාරීන්ට එම ගෑස් සිලින්ඩර් දෙක ඇති තැන සොයා ගැනීමට එතරම් අපහසු වූයේ නැත. එම ගෑස් සිලින්ඩර් දෙක රුපියල් 19,000කට ඒ වන විටත් තිබුණේ අලෙවිකරය. ඒ ඔස්සේ විමර්ශන නිලධාරීන් දෙමටගොඩ ආරාමය පාරේ පිහිටි සියපත් සෙවණ නිවාස සංකීර්ණයේ හය වැනි මහලේ නිවෙසක් වටලනු ලැබීය. මිත්‍රානිගේ මරණය සම්බන්ධයෙන් සැකපිට එම නිවසේ ජීවත්වූ සෙල්ව කුමාර් නමැති 51 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තේය. මිත්‍රානිගේ නිවෙසින් අතුරුදන්වූ ලැප්ටොප් පරිගණකය රුපියල් 10,000කටත් ජංගම දුරකතනය රුපියල් 2000කටත් බොරැල්ලේ පුද්ගලයකුට අලෙවි කර තිබියදී සොයා ගන්නේ එම පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේය.

මේ පුද්ගලයාට කුරුඳුවත්ත සිය නිවෙස බඳුය. කුරුඳුවත්තේ ගෙවල්වලට ගොස් වත්තේ පිටියේ වැඩක්පළක් කර දී කීයක් හරි සොයාගෙන ඔහු එදා වේල සරිකර ගත්තේය. අධික ලෙස රේස් ඔට්ටු සූදුවට ඇබ්බැහි වී සිටියෙක් වූ බැවින් හම්බුකරන හැම සතයක්ම වැය කළේ සූදුවටය. අවිවාකයෙක් වූ ඔහු ජීවත් වූයේ සිය මවුපියන් හා සහෝදරිය සමඟිනි. සහෝදරිය විවාහකය. සැමියාත් දරුවත් සමඟ ඇය පදිංචිව සිටියේ ද සියපත් සෙවණ නිවාස සංකීර්ණයේය.

ප්‍රශ්න කිරීම් හමුවේ මේ පුද්ගලයා විමර්ශන නිලධාරීන්ට පවසා ඇති ආකාරයට අනුව මිත්‍රානිගේ නිවසට ඔහු පළමු වරට යන්නේ ඇගේ සිරුර හමුවීමට පෙර දිනයේදීය. ඒ වැඩක් පළක් ඉල්ලාගෙනය. ඒ වන විට ගෙවත්ත වල්බිහිවී තිබුණු බැවින් මිත්‍රානි මෙම පුද්ගලයාව ගේට්ටුව විවර කර ඇතුළට රැගෙන වත්ත පිරිසිදු කරගෙන රුපියල් 1000ක මුදලක් ද ඔහුට ලබාදී ඇත. එදා ඔහු එම නිවෙසේ සිට පිටත්ව යන්නේ දහවල් 2.00ට පමණය. ඔහු ඒ කියන්නේ ඇත්තක්දැයි විමර්ශන නිලධාරීන් ආරක්ෂක කැමරා පරීක්ෂාවක් මඟින් ද තහවුරු කර ගත්තේය.

“ මැඩම්ට වයස අවුරුදු 75ක් කීවට වයස පේන්නේ නැහැ. ඉටි රූපයක් වගේ ලස්සනයි. මට මැඩම් ගැන ආශාවක් ඇති වුණා. ඒ නිසයි පහුවෙනිදාත් එන්නේ“.විමර්ශන නිලධාරීන් හමුවේ ඔහු මිත්‍රානිගේ මරණයට මුල කියන්නට ගත්තේ එසේය.

15 වෙනිදා උදේ 8.00ට ඔහු මිත්‍රානිගේ නිවෙසට ඇවිත් පවසන්නේ පෙර දින අවසන් කළ නොහැකි වූ තවත් වැඩ කිහිපයක් අවසන් කරන්නට ඇතැයි කියාය. ඔහු පවසනුයේ මිත්‍රානි තමාව ගේට්ටුව විවර කර ඇතුළට ගත් බවය. වත්තේ ගස් කිහිපයක් කතුරෙන් කපමින් වත්ත පිරිසිදු කරමින් සිටියදී ඇය තමාව මුළුතැන්ගෙය වෙත කැඳවා තේ සමඟ පාන් පෙත්තක් කෑමට දුන් බව ද පැවසුවේය.

“මැඩම් හිටියේ නයිටිය ඇදගෙන. මැඩම්ව දැක්කම මට හැම දෙයක්ම අමතක වුණා. වැලේ දාල තිබ්බ රෙද්දක් අතට අරගෙන මැඩම්ගේ ඔළුව වැහෙන්න රෙද්ද දාල බදා ගත්තා. මැඩම් දැගලුවා“ විමර්ශන නිලධාරීන් හමුවේ ඔහු සියල්ල වමාරා ඇත්තේ එසේය.

මේ පුද්ගලයා සිය ආශාවන් එසේ සංසිදුවා ගැනීමෙන් අනතුරුව බිම ඔප දමන යන්ත්‍රයේ වයරය අතට ගෙන ඇගේ ගෙල සිරකර මරා දමනු ලබන්නේ ඇය මේ ගැන කිසිවකුට හෝ පැවසුවහොත් පොලිසිය තමාව අත්අඩංගුවට ගනීවියැයි ඇතිවූ බියක් සිතට ආ බැවිනි. අනතුරුව ඔහු නිවෙසින් පිටත්ව යන්නේ ඉහළ මහලේ ඇගේ කාමරයේ තිබුණු ලැප්ටොප් පරිගණකය හා ජංගම දුරකතනය සමඟ ගෑස් සිලින්ඩර් දෙක ද රැගෙනය. නිවෙස තුළින් ඔහු පිටතට ආවත් ඔහුට ඒ අවස්ථාවේදී එම භාණ්ඩ කිසිවක් රැගෙන යන්නට හැකියාවක් නොලැබෙන්නේ ගේට්ටුව අසල වාහනයක් නතර කර හෝන් ගසන්නට වූ බැවිනි. මිත්‍රානිගේ සහෝදරයාගේ ඉංජිනේරු පුතා විසින් ගරාජයේ නවතා තිබුණු ජිප් රථය අසල එම භාණ්ඩ තබන මේ පුද්ගලයා ඉක්මනින්ම නිවෙසින් පිටව යන්නේ එම හෝන් හඬට කලබල වීය. නිවෙසට ගොස් ඇඳුම් මාරු කරගත් ඔහු නැවත ඒ පැත්තට පැමිණෙනුයේ ගරාජයේ දමාගිය ගෑස් සිලින්ඩර් දෙකත් ලැප්ටොප් පරිගණකයත් ජංගම දුරකතනයත් රැගෙන යන්නටය.