කොළඹ මහනුවර සහ උතුරු පළාත මෙරට අධ්‍යාපනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන 03ක් ලෙස සංවර්ධනය කෙරේ

0
අධ්‍යාපනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන

එක් සැලැස්මක් යටතේ ඉදිරි වසර 05 තුළ උතුරු පළාත පූර්ණ සංවර්ධනයකට ලක් කරන බවත් බස්නාහිර මෙන්ම අනෙකුත් පළාත් ද ජාතික ආර්ථිකයට දායක කර ගනිමින් රට ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන අතර කොළඹ, මහනුවර සහ උතුරු පළාත මෙරට  අධ්‍යාපනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන 03ක් ලෙස ගොඩනගන බවටද කෘෂි අපනයනය සඳහා රට සූදානම් කිරීමේ දී උතුරේ ගොවි ජනතාව කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වව්නියාව දිස්ත්‍රික් සංස්කෘතික  ශාලාවේදී පැවති වව්නියාව, මුලතිව්  හා මන්නාරම දිස්ත්‍රික්කවල විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට  එක්වෙමිනි .

එක් සැලැස්මක් යටතේ ඉදිරි වසර 05 තුළ උතුරු පළාත පූර්ණ සංවර්ධනයකට ලක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

රටේ ආර්ථිකයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙන බස්නාහිර පළාත අද මෙරට ආර්ථිකයේ ප්‍රධාන එංජිම බව පෙන්වා දුන් ජනාධිතිවරයා ඉදිරියේ දී දකුණු, උතුරු, මධ්‍යම යන පළාත් මෙන්ම වයඹ පළාත ද ඊට එක් කර ගනිමින් ප්‍රධාන එංජින් 05ක් යටතේ මෙරට ආර්ථිකය සවිබල ගැන්වීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.

වව්නියාව, මන්නාරම හා මුලතිව්  දිස්ත්‍රික්කයන්හි අධ්‍යාපන, සෞඛ්‍ය, නැවත පදිංචි කිරීම්, ඉඩම්,විදුලිය,ජලය, සංචාරක, වන සංරක්ෂණ හා ධීවර  ක්ෂේත්‍රවල පවතින ගැටලු  පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලුණු අතර එම ඇතැම් ගැටළුවලට එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීමට  ජනාධිපතිවරයා කටයුතු කළේය.

මෙරට  අධ්‍යාපනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන 03ක් බවට කොළඹ, මහනුවර මෙන්ම උතුරු පළාත පත් කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය

අපේ රටේ ආර්ථිකයට තිබුණේ එක එංජිමයි. ඒ තමයි බස්නාහිර පළාත. මෙරට ජාතික ආර්ථිකයට 50%ට වැඩි දායකත්වයක් ලබාදෙන්නේ බස්නාහිර පළාතයි. අනෙක් පළාත්වලින් ලැබෙන ආර්ථික දායකත්වය පසුගාමී තැනකයි තිබෙන්නේ. රටක් ලෙස වේගයෙන් ඉදිරියට යාමට නම් ආර්ථිකය ඉදිරියට ගෙන යන එම එංජින් ප්‍රමාණය වැඩි කළ යුතුයි. ඒ සඳහා අනෙකුත් පළාත්වලද ශක්තිමත් ආර්ථිකයක් ඇති කළයුතුයි. ඒ සඳහා අප පළාත් කිහිපයක් හඳුනාගෙන තිබෙනවා. දකුණ, උතුර, බස්නාහිර, මධ්‍යම හා වයඹ යන පළාත් පහ ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකට පුළුල් දායකත්වයක් ලබාදෙන පළාත් ලෙස ගොඩනැංවිය යුතුයි.

වර්තමානය වන විට රටට මූල්‍ය ශක්තියක් තිබෙන නිසා අතරමග නවතා දමා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම විදේශ ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවලටත් එම ආධාර ලබාගැනීමට අවස්ථාව ලැබී  තිබෙනවා.

ඒ වගේම උතුරු පළාත මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල ලෙස දායක කර ගැනීමේ හැකියාව පවතිනවා. උතුරු පළාතේ තිබෙන සුළං සහ තාප තත්ත්වයන් අනුව පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයට වැඩි අවස්ථාවක් තිබෙනවා.  උතුරු පළාතෙන් නිපදවිය හැකි බලශක්තිය ගණනය කර බැලුවොත් ඉතිරි කොටස ඉන්දියාවට  අළෙවි කර  මුදල් ලබාගත හැකියි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.

උතුරු පළාතේ ගොවීන් ඉතාම දක්ෂ කාර්යක්ෂම පිරිසක්. කෘෂි අපනයනය සඳහා රට සූදානම් කිරීමේ දී ඔවුන් කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙනවා. කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ උතුරු පළාතේ ගොවි බිම් කළමනාකරණය කිරීම තුළින්  අපනයන කෘෂිකර්මාන්තයක් ඇති කළ හැකියි.