තමා අතින් කිසිදු වරදක් සිදු වී නෑ කෙහෙළිය කියයි

0
තමා අතින් කිසිදු වරදක්

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධියේ දී තමා අතින් කිසිදු වරදක් සිදු වී නොමැති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කොළඹ දී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

සත්‍ය සම්පූර්ණයෙන්ම විකෘති කර කරන ප්‍රකාශවලට පිළිතුරු නොදී සිටිය හොත් පුවත්පත්වල පළකරන කටුන් ද සත්‍ය වන බවත් අගෝස්තු මස 2 වැනිදා මෙම සිද්ධියේ පැමිණිළි කළේ ද තමන් බවත් අමාත්‍යවරයා කීය.

වර්තමානයේ ප්‍රශ්න මතුවී තිබෙන නිෂ්පාදකවරයා 2013 වසරේ සිට ඔහුට නිෂ්පාදනාගාරයක් ඇතැයි පවසමින් විවිධ අවස්ථාවල රජයට බෙහෙත් සැපයීමට උත්සහ කර ඇතැයි කී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා තමන් ඇමතිවරයා ලෙස පත්වීමෙන් පසුව ද ඔහුගේ ඉල්ලීම් නැවත නැවත අලුත්වෙමින් පැමිණි බව ද සඳහන් කළේය.

එම ඉල්ලීම් ඖෂධ නියාමන අධිකාරියට යොමු කිරීම ඇමතිවරයා හැටියට කළ බවත් ඒ අනුව අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීතුමා සති කීපයකට පසුව එම ඉල්ලීම්වල එකඟ නොවන්නේ යැයි දැනුම්දීමෙන් පසුව ඇමතිවරයාට ලෙස ඉන් එහාට ක්‍රියා කළ නොහැකි බවත් ඔහු කීය.

එය කළ නොහැකි නිසා ඉන් පසුව කථාව නොමැති බව කී රඹුක්වැල්ල පැවසුවේ ඉන් පසුව ප්‍රසංපාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇමතිවරයාට සම්බන්ධයෙක් නොමැති බවත්ය.

එම ඖෂධ ආනයනය කළ බව කියන සමාගමේ හිමිකරු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු සිව් දෙනෙකු හා සෞඛ්‍ය අමාත්‍යාංශ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ද සමඟින් සය දෙනෙකු මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරත කර තිබේ.

නමුත් සෞඛ්‍ය වෘත්තීය සංගම් ඇතුළු විවිධ පාර්ශ්ව චෝදනා කරන්නේ, වංචාවේ මහමොළකරුවන් මෙතෙක් අත්අඩංගුවට පත් ව නොමැති බවයි.

මෙම වංචාවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද වගකිව යුතු බවත් ඔහු ද අත්අඩංගුවට ගත යුතු බවත් එම පාර්ශ්ව චෝදනා කරයි.