මිජවුම් චණ්ඩ සුළි කුණාටුවෙන් ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට බලපෑම්

0
මිජවුම් චණ්ඩ සුළි කුණාටුවෙන්

බටහිර – මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති මිජවුම් චණ්ඩ සුළි කුණාටුවෙන් අද ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට බලපෑම් එල්ල වුණා.

සුළි කුණාටුවේ බලපෑමෙන් ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වී ඇති මරණ ගණන 9කි.

බටහිර – මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති මිජවුම් සුළි කුණාටුවෙන් ඉන්දියාවේ දකුණු වෙරළ තීරය ආශ්‍රිත පෙදෙස්වලට එල්ල වන්නේ දැඩි බලපෑමකි.

පැයට කිලෝමීටර 90ත් 100ත් අතර සුළගේ වේගයක් වාර්තා කරමින් මිජවුම් සුළි කුණාටුව අද ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරයෙන් රට තුළට ඇතුළුවී තිබුණි.

එහි බලපෑමෙන් ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ඇතැම් නගර ජලයෙන් යටවිය.

ඉදිරි පැය 24 තුළ ආන්ද්‍රා ප්‍රාන්තයෙන් මිලිමීටර 200 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වනු ඇතැයි අපේක්ෂිතය.

ආන්ද්‍රා ප්‍රදේශ් සහ තමිල්නාඩු ප්‍රාන්තවල පහත් බිම්වල වාසය කරන දහස් ගණනක් ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමටද බලධාරීන් කටයුතු කර තිබුණි.

ඔවුන් වෙනුවෙන් සහන කඳවුරු 300ක් සූදානම් කර ඇතැයි සඳහන්ය.

මේ අතර, අධික වැස්සෙන් ප්‍රාන්තයේ දෛනික කටයුතු ඇනහිටීම හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයට ඊයේ දිනක නිවාඩුවක් ලබාදී තිබුණි.

එය තවත් දිනකින් දීර්ඝ කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

මේ අතර, මිජවුම් සුළි කුණාටුවේ බලපෑමෙන් චෙන්නායි නගරයට ඇදහැලුනු වර්ෂාව මේ වනවිට අඩුවෙමින් පවතී.

නගරයට ඇදහැලුනු වර්ෂාව වාර්තා අතරට එක් වූයේ වසර 80කින් පමණ පසු නගරයෙන් වාර්තා වූ ඉහළම වර්ෂාපතනය ලෙසය.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන්, වසාදැමුණු චෙන්නායි ගුවන්තොටුපළ අද පෙරවරුවේ යළි විවෘත කෙරුණි.