ඩයනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය එරෙහි නඩුවට ලැබුණු තීන්දුව මෙන්න. ඕෂලත් සටන අත් නොහරින ලකුණු

0
පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය

තමන් ලබන සතියේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් පවසයි.

ඔහු විසින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුව අනුව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු රිට් පෙත්සම අභියාචනාධිකරණය අද නිෂ්ප්‍රභ කළේය.

එම ‍පෙත්සමේ වගඋත්තරකරුවන් වූයේ ආගමන හා විගමන පාලක, මහජන ආරක්ෂක ඇමතිවරයා, සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින් සහ  පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පිරිසකි.

පසුගිය ජනවාරි මස 26 වැනිදා විභාගය ආරම්භ කෙරුණු මෙම රිට් පෙත්සම මාස 05කට ආසන්න කාලයක් විභාග කෙරුණු අතර එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අවස්ථා කිහිපයකදී කල්තැබුණි.

ඒ අනුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා කියා සිටියේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවන්ගේ තීන්දුව මත අදාළ පෙත්සම ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන බවය.

” මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කර අධිකරණයෙන් සහන පැතීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. එහෙත් පෙත්සම්කරු සාක්ෂි වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ වගඋත්තරකාරියට එරෙහිව ඇති අපරාධ නඩුව පමණයි. ඒ වගේම පෙත්සම්කරු නියෝජ්‍ය ආගමන හා විගමන පාලකවරයා පොලිසියට ලබාදුන් ප්‍රකාශ කීපයක් මත විශ්වාසය තබා අධිකරණයට පැමිණ තිබෙනවා. සාක්ෂි ආඥා පනත ප්‍රකාරව මේවා පිළිගන්න පුළුවන් ද කියන ගැටලුව අධිකරණයටත් මතුවෙනවා. ඒ නිසා පෙත්සම්කරු ඉදිරිපත් කර තිබෙන සාක්ෂි ඔහු විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින ඉල්ලීම තහවුරු කිරීමට ප්‍රමාණවත් නැහැ. “

මෙහිදි සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා මෙසේ කරුණු පැහැදිළි කළේය.

” මහජන සුභ සාධනය සඳහා නඩු ඉදිරිපත් කිරීමේ දී සැඟවුණු දේශපාලන න්‍යාය වලින් තොරව එය ඉදිරිපත් කළ යුතුයි. එහෙත් මෙහිදී පෙනී යන්නේ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය අපකීර්තියට පත්කිරීම සහ ද්වේශසහගත ලෙස ඇයගේ හොඳ නම පළුදු කිරීමේ අරමුණින්  පෙත්සම්කරු මෙය ඉදිරිපත් කර ඇති බවයි. එබැවින් එය අධිකරණයෙන් සහනයක් ලබාගැනීමට සුදුසුකමක් නොවේ” යැයි විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා මෙහිදී ප්‍රකාශ කළා.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ තීන්දුවට විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මියද එකඟතාවය පළ කර තිබූ අතර බෙදුනු තීන්දුවේ විසම්මුතික තීන්දුව ප්‍රකාශයට පත්කළේ විනිසුරු ඒ. මරික්කාර් මහතාය.

” වගඋත්තරකාරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වශයෙන් මහජනතාවට වගවීමට හා විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට බැඳී සිටිනවා. එමෙන්ම වගඋත්තරකාරිය අධිකරණය ඉදිරියේ සිය ශ්‍රී ලාංකික පුරවැසිභාවය පිළිබඳව කරුණු තහවුරු කිරීමට අසමත් වී තිබෙනවා. ඒ අනුව ඇයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු කමක් නොමැති බව තීරණය කරන මා පෙත්සම්කරු ඉල්ලා ඇති රිට් ආඥාව නිකුත් කිරීමටත්, ඇය විසින් පෙත්සම්කරුට නඩු ගාස්තු ගෙවිය යුතු බවටත් තීන්දු කරනවා ”