ඇහැලියගොඩ ස්ථානාධිපති ගේ මරණය ගැන තවත් තොරතුරු හෙළිවේ

0
ඇහැලියගොඩ ස්ථානාධිපති

ඇහැලියගොඩ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර සිල්වා මහතාගේ මරණය සිදුව ඇත්තේ ඔහු සිය රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන බව එම මරණය සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

දක්ෂ පොලිස් නිලධාරියෙක් වන ඔහු සියදිවි හානිකරගත්තේ ඇයිදැයි පැහැදිලි නැති නමුත් ඒ ගැන විමර්ශනයක් පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

සිය පුතු නිවාඩු ලැබ පසුගිය සතියේ නිවසට පැමිණ “අම්මේ මට මරණ තර්ජන තියෙනවා“ යැයි සඳහන් කළ බව ඔහුගේ මව සඳහන් කරන්නීය.

“මම මැරුණම තමයි උඹල හැමෝටම හරියන්නේ “ යැයි කියාද පෙර දිනයක දී සිය සැමියා ඔහුගේ පවුලේ සාමාජිකයන් අතර පැවැති යම් ආරවුලක දී පවසා ඇති බව ප්‍රියංකරගේ බිරිය විසින් මෙම මරණය සම්බන්ධයෙන් කරුණු විමසීමේ දී පොලිසියට පවසා ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

වාද්දූව මොල්ලිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ප්‍රියංකර මහතා ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස සේවයට පැමිණ ඇත්තේ 2021 නොවැම්බර් 20 වෙනිදාය. ඔහු ඇහැලියගොඩ ප්‍රදේශයේ ජනතාවගේ සිත් දිනාගෙන සිටි නිලධාරියෙක් බව සඳහන්ය.

ප්‍රියංකර මහතා දෙදරු පියෙකි. 14 වියෙහි පසු වන දයාබර පාසල් දැරියක් සහ එකොළොස් වියැති දයාබර පුතකු සිටිති.

මෙම නිලධාරියා සිය රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි තබාගනු ලැබුවේ පෙරේදා (21) අලුයම් කාලයේදීය. ඊට මුල පවුලේ ආරවුලක්දැයි සැකයක් මතුවී තිබේ.

ඇහැලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව පොලිස් ස්ථානාධිපතිවරයාට නිල නිවසක් නොමැති බැවින් කාලයක් තිස්සේම පොලිස් ස්ථානාධිපතිවරු සිය නිල නිවස බවට පත්කරගෙන ඇත්තේ පොලිසියට යාබදව ඇති හෝටලයක කාමරයකි.

මෙම නිලධාරියා වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇත්තේ එම හෝටල් කාමරය තුළදීය.

21 උදෑසන පොලිස් ස්ථානයේ රාජකාරි භාර නිලධාරියෙක් මෙම කාමරයට පැමිණ ඇත්තේ දෛනික වාර්තාව පොලිස් ස්ථානාධිපතිවරයාට ලබාදීමටය. වෙනදාට අලුයම් කාලයේ සිට ඇහැරී සිටින ස්ථානාධිපතිවරයා දොරගුළු දමාගෙන සිටීම හේතුවෙන් ඔහුට දිගින් දිගටම කථාකර ඇතත් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඒ බව එම නිලධාරියා සෙසු නිලධාරීන්ට දැනුම් දී ඇත. එම දැනුම් දීමට අනුව පොලිස් ස්ථානයේ සිටි සෙසු නිලධාරීන් පැමිණ දොරගුළු කඩා පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ පොලිස් ස්ථානාධිපතිවරයා වෙඩි වැදීමකට ලක්ව නිදන ඇද මත මියගොස් සිටින අයුරුය. ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී පෙනී ගොස් ඇත්තේ ඔහු සිය කන අසලින් ගිනි අවිය තබා හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවය.

කේ.ඒ. සුනිල් – කුරුවිට කළුතර මධ්‍යම විශේෂ