සරත් ෆොන්සේකා ගැන සජබෙන් තීන්දුවක් ගනී

0
සරත් ෆොන්සේකා

පසුගිය දිනවල සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමාජ මාධ්ය නාලිකා කිහිපයකටම සම්මුඛ සාකච්ඡා ලබාදෙමින් තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට සූදානමින් සිටින බවට ප්රකාශ නිකුත් කිරීමට කටයුතු කොට තිබිණි. එමෙන්ම අවස්ථා කිහිපයකදීම සජබ නායක සජිත් ප්රේමදාස මහතා මෙන්ම සජබයේ වැඩපිළිවෙළ විවේචනය කිරීමටද ෆොන්සේකා පියවර ගෙන තිබිණි. ෆොන්සේකාගේ මෙම ප්රකාශ පක්ෂයේ ප්රතිපත්තිවලට සහ තීන්දු තීරණවලට පටහැනි වීම හේතුවෙන් මන්ත්රීවරුන් අතර ඒ සම්බන්ධයෙන් විවිධ විරෝධතා මතුවුණද පක්ෂයක් ලෙස කිසිදු අවස්ථාවක ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමක් හෝ ඊට එරෙහිව කිසිදු ක්රියාමාර්ගයක් ගැනීමක් හෝ සිදුවූයේ නැත. නමුත් පසුගිය සතිය වනවිට මෙම තත්ත්වය වෙනස් මුහුණුවරක් ගෙන තිබූ අතර, සජබ කළමනාකරණ කමිටු රැස්වීමේදී ෆොන්සේකා මාධ්ය හමුවේ කර ඇති යම් යම් ප්රකාශ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළ ආකාරයක් දැකගන්නට ලැබිණි.

සඳුදා පැවැති මෙම කළමනාකරණ කමිටු රැස්වීම ආරම්භයේදී සජිත් ඊට සහභාගි වී සිටි ආකාරයක් දැකගන්නට ලැබුණ් නැත. අත්යාවශ්ය රාජකාරි කටයුත්තක් හේතුවෙන් තමන් ඊට සහභාගි වන විට යම් ප්රමාදයක් විය හැකි බවත්, එම නිසා හමුවේදී ඉදිරි පාර්ලිමේන්තු සතියේ න්යාය පත්රය පිළිබඳ සාකච්ඡා කිරීම ආරම්භ කරන ලෙසත් සජිත් පක්ෂ ජ්යෙෂ්ඨයන්ට දැනුම් දීමක් කොට තිබිණි. ඒ අනුව සජිත් නොමැතිව සාකච්ඡා ආරම්භ වූ අතර, පටන් ගැනීමේදීම මන්ත්රීවරුන් රැසක්ම ෆොන්සේකාගේ මෙම ප්රකාශ පිළිබඳ කතාකරමින් ඊට එරෙහිව කුමන හෝ ක්රියාමාර්ගයක් ගත යුතු බවත්, ගම්වලදී ආසන සංවිධායකවරුන් මෙන්ම පාක්ෂිකයන් මේ පිළිබඳ තමන්ගෙන් ප්රශ්න කරන බවත් දැනුම් දී සිටියහ.

සරත් ෆොන්සේකා ට ඇක්ෂන් නැද්ද?

ෆොන්සේකා කියන්නේ අපේ පක්ෂයේ සභාපති. ඉතින් පක්ෂයේ සභාපතිතුමා පක්ෂ තීන්දු තීරණවලට පිටින් ගිහින් කතාකරනවා නම් අපි කොහොමද ගම්වල දේශපාලනය කරන්නේ? අපි පක්ෂයක් විදියට කෘත්යාධිකාරී මණ්ඩලයේ තීන්දුවක් ගත්තා ජනාධිපතිවරණයට පක්ෂ නායකයා විදියට සජිත් ප්රේමදාස නායකුමා ඉදිරිපත් වෙනවා කියා. හැබැයි ෆොන්සේකා මහත්තයා ගිහින් යූටියුබ්වලට ඉන්ටවිව් දෙනවා එයත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා. අපි ගම්වලට ගියාම ආසන සංවිධායකවරු මේවා ගැන අපෙන් ප්රශ්න කරනවා. පාක්ෂිකයොත් මේ ගැන අපෙන් අහනවා. මේවට විරුද්ධව කිසිම ඇක්ෂන් එකක් ගන්නෙ නැද්ද කියලා අහනවා. ඉතින් අපි මොනවද ඒ අයට කියන්නේ? අපි කොහොමද ගම්වල දේශපාලනය කරන්නේ? මේ ගැන වහාම ක්රියාමාර්ගයක් ගන්න ඕනේ…’ යනුවෙන් එක් සජබ මන්ත්රීවරයෙක් කියද්දී තවත් ජ්යෙෂ්ඨ මන්ත්රීවරයෙක් කියා සිටියේ පක්ෂයක සභාපතිවරයා වශයෙන් හැසිරීමට ෆොන්සේකා මහතා කටයුතු කොට නැති බවය.
මේ මන්ත්රීතුමාගෙ කතාව සහතික ඇත්ත. එතුමා අපේ පක්ෂයේ සභාපති. පක්ෂයක සභාපති කෙනෙක් වුණාම හැසිරෙන්න ඕනෙ විදියක් තියෙනවා. දැන් සමහර මාධ්යවල යනවා එතුමා මේ ගැන කතා කරන්න ගෝඨාව බලයට ගේන්න උදව් කරපු දෙරණ නාලිකාවේ හිමිකරු වෙච්ච දිලිත් ජයවීරත් ගිහින් හම්බවුණා කියලා. ඊට පස්සේ තවත් තැනක කියනවා එතුමා රනිල් වික්රමසිංහ මහත්තයගෙ හොඳ කියනවා කියලා. මෙහෙම කරන්න බෑ. පක්ෂයක මොකක් හරි විනයක් තියෙන්න ඕනෙ…’ යනුවෙන් එම ජ්යෙෂ්ඨ මන්ත්රීවරයා කියද්දී කළමනාකරණ කමිටුව නියෝජනය කරන සියලු දෙනා ඊට පක්ෂව අදහස් දක්වන ආකාරයක් දැකගත හැකි විය.

සරත් ෆොන්සේකා ගැන සජිත් තීන්දුවක් ගනී

විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා කළමනාකරුණ රැස්වීමට සම්බන්ධ වූයේ මන්ත්රීවරුන් මේ ආකාරයට ෆොන්සේකා පිළිබඳ විවිධ චෝදනා ඉදිරිපත් කරමින් කතා කළ පසුබිමකය. එහිදී මන්ත්රීවරු සජිත්ටද මේ පිළිබඳ දැනුම් දීමට පියවර ගත්හ. ඒ අනුව අවසානයේදී කළමනාකරණ කමිටුව තීන්දු කළේ පක්ෂයේ ජ්යෙෂ්ඨයන් පිරිසක් පළමු වටයේදී පෞද්ගලිකව ෆොන්සේකා හමුවීමට ගොස් මෙම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. එහිදී මතුව ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමටත්, ලැබෙන ප්රතිචාර මත ඉදිරි ක්රියාමාර්ග ගැනීමටත් තීන්දු විය.

රාජ්ය රහස්