පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් නෑ. ජිනීවා මානව හිමිකම්  මහ කොමසාරිස්වරයාගේ වාර්තාව පිලිගන්නේ නෑ. ජනපතිගෙන් සහතිකයක්.

0
ජාත්‍යන්තර පරීක්ෂණයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය හෝ වෙනත් කිසිදු කරුණක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් නැතැයි ජර්මනියේ රූපවාහිනි නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතිකයින් දෙවැනි පන්තියේහි ලා සැලකීමේ බටහිර මාධ්‍ය  ආකල්පය වෙනස් විය යුතු බව කී ජනාධිපතිවරයා එක්සත් රාජධානිය හෝ ජර්මනිය ගැන එවැනි ජාත්‍යන්තර පරීක්ෂණ කර තිබෙනවා දැයි ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා මානව හිමිකම්  මහ කොමසාරිස්වරයාගේ වාර්තාව නොපිළිගන්නා බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ජර්මන්  මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පැවසූයේ තමා රට බාර ගත්තේ රටේ සාගින්දර නැති කිරීමට බවත් ආර්ථිකය ක්‍රියාත්මක වීම ඇරඹුනේ මේ වසරේදී වන අතර තවමත් ඒ සඳහා වසරක්වත් ගත වී නැති බවයි.

චැනල් ෆෝ වීඩියෝව සම්බන්ධයෙන් මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,චැනල් ෆෝ වීඩියෝව එතරම් පාරිශුද්ධ ලෙස සලකන්නේ ඇයි දැයි විමසීය.බ්‍රිතාන්‍යයේ බහුතරයක් එසේ හිතන්නේ නැතැයි ද ජනාධිපතිවරයා කීය.

තමා කතෝලික රදගුරු සම්මෙිලනය  සමග කටයුතු කරන බව කී ජනාධිපතිවරයා පාස්කු කමිටු වාර්තාවේ සම්පූර්ණ විස්තරය රදගුරු සම්මේලනයට  ලබාදී තිබෙන බවද කීය.

තමා ටෙලිවිෂන් සහ මාධ්‍ය සමඟ කටයුතු කර තිබෙන අතර”මම එම ගේම් එකේ ඉන්නේ ඔබට වඩා බොහෝ කලකට පෙර සිට යැයි” මාධ්‍යවේදියා අමතමි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.