රජය ගෙන යන ආර්ථික සහ සමාජයීය ප්‍රතිසංස්කරණ වැඩපිලිවෙල ලෝක බැංකු සභාපති ගේ ඇගයුමට

0
ආර්ථික සහ සමාජයීය ප්‍රතිසංස්කරණ
එක්සත් ජාතින්ගේ සංවිධානයේ 78වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සදහා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ජාත්‍යන්තර ප්‍රධානීන් සහ විදෙස් නායකයින් පිරිසක් හමුවී තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා ලෝක බැංකුවේ සභාපති අජේ බංගා හමුවී සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතින්ගේ මූලස්ථානයේදි එම හමුව සිදුවුණා.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය ගෙන යන ආර්ථික සහ සමාජයීය ප්‍රතිසංස්කරණ වැඩපිලිවෙල ලෝක බැංකු සභාපති අජේ බංගා විසින් ඉහළින් අගය කර තිබෙනවා.

ශ්‍රි ලංකාව නව්‍යකරණයේ  මාවතකට පිවිසීම සම්බන්ධයෙන් සතුටු වන බවයි ඔහු එහිදී පවසා ඇත්තේ.

එමෙන්ම ජනාධිපතිවරයා ආරම්භ කර තිබෙන මෙම වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙනගියහොත් ශ්‍රී ලංකාවට අපේක්ෂිත ප්‍රතිඵල කඩිනමින් ලගා කර ගත හැකිවන බව තමන් විශ්වාස කරන බවත් එම ක්‍රියාදාමය සදහා ලෝක බැංකුවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ලෝක බැංකු සභාපතිවරයා පවසා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලා.

අධ්‍යාපනය ඇතුළු අනෙකුත් රාජ්‍ය අංශයේ සේවා ඩිජිටල්කරණට ලක් කිරීම මගින් ඒවායේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවිය හැකි බවයි ලෝක බැංකුවේ සභාපතිවරයා එහිදී පවසා ඇත්තේ.

එවැනි පරිවර්ථනයන් සිදුකිරීමේදී ගුරුවරුන්ගේ ද ඇතුළුව විවිධ වෘත්තීය සමිති විසින් ඍජුවම ඊට බාධා එල්ල කිරීමට කටයුතු කරනු ඇති බව ද ලෝක බැංකුවේ සභාපති අජේ බංගා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පෙන්වා දි තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමාට වැදගත් වන්නේ දරුවන්ගේ අනාගතය ගොඩනැගීම බවයි.

එමෙන්ම සෑම ක්ෂේත්‍රයකම විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තම අරමුණ බව ද ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙනවා.

පසුගිය වසර 02 තුළ ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවූ දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ලෝක බැංකුව විසින් ලබාදෙන සහයෝගය පිළිබඳව ද ස්තූතිවන්ත වන බවයි ජනාධිපතිවරයා එහිදී ලෝක බැංකුවේ සභාපතිවරයා වෙත පවසා ඇත්තේ.

දැනට ශ්‍රී ලංකාව පූර්ණ ආර්ථික ප්‍රතිසංස්කරණ මාවතකට අවතීර්ණ වී ඇති බව පැවසූ ජනාධිපතිවරයා, මෙරට ණය ප්‍රශස්තකරණ වැඩසටහන ද අවසන් අදියරට ලගාවෙමින් පවතින බව ද ප්‍රකාශ කළා.

ඉහළ ආර්ථික වර්ධන වේගයක් සමග ඉදිරි දශකය තුළ රට සම්පූර්ණයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීම සිය අපේක්ෂාව බවත්, ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිසංස්කරණ සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවීම තම අපේක්ෂාව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක බැංකුවේ සභාපති අජේ බංගා වෙත ප්‍රකශ කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ශ්‍රි ලංකාවේ සංචාරයක නිරත වන ලෙසද ජනාධිපතිවරයා , එහිදී ලෝක බැංකුවේ සභාපතිවරයාට අරාධනා කර ඇති අතර  ලෝක බැංකු සභාපතිවරයා විසින් එම ආරාධනය පිලිගෙන ඇති බවද ජනාධිපති මාධය අංශය වැඩිදුරටත් සදහන් කලා.