පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ගෙන් ශ්‍රී ලංකා රජයට නැවත නිර්දේශයක්

0
මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහය ඇතිව වින්දිතයින්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයින්ගේ පූර්ණ සහභාගීත්වයෙන් පසු විපරම්, ස්වාධීන සහ විනිවිද භාවයෙන් යුත් විමර්ශනයක් අරඹන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා රජයට නැවත වරක් නිර්දේශ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසි වාරයේ ආරම්භක සැසිය අමතමින් නියෝජ්‍ය මහ කොමසාරිස් නඩා අල් නෂිෆ් අද (සැප්තැම්බර් 11 වැනිදා) මේ බව අනාවරණය කළාය.

ඇය කියා සිටියේ මානව හිමිකම් කඩකිරීම් මෙන්ම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වැනි සිද්ධි සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව පරීක්ෂණ සහ නඩු පැවරීම් කඩිනම් කරන ලෙස, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ වාර්තාව රජයට නිර්දේශ කර සිටින බවය.

ශ්‍රී ලංකාවේ වර්තමාන සහ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා වගවීම කේන්ද්‍රීය වන බවද ඇය පැවසුවාය.

අතීත මානව හිමකම් උල්ලංඝන සිදුවීම් පිළිගෙන විශ්වාසනීය වගවීමේ ක්‍රියාමාර්ග ගැනීම ශ්‍රී ලංකා බලධාරීන්ගේ වගකීමක් බවත්, වගවීම ඉදිරියට ගෙන යාමේදී මානව හිමිකම් කවුන්සිලයට සහ සාමාජික රටවලට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බවත් නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය පැවසුවාය.

ආර්ථික අර්බුදයෙන් මානව හිම්කම්වලට වන බලපෑම

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් චර්ක් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වෙන්නේ ආර්ථික අර්බුදය සහ ගෝලීය ආර්ථිකය මත ඇතිවූ පුළුල් ආතතීන් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවන තත්ත්වය පවත්වා ගෙන යාමේ හැකියාවට දිගින් දිගටම බලපෑ අතර එය විශාල සහ තියුණු ලෙස වැඩිවන දුප්පත් ජනතාවට විනාශ කාරී බලපෑමක් ඇති කළ බවය.

අර්බුදය හේතුවෙන් 2021 සහ 2022 වසරවල දිලිඳු ප්‍රතිශය 13% සිට 25% දක්වා දෙගුණ වී ඇතැයි, ලෝක බැංකු ඇස්තමේන්තු උපුටා දක්වමින් මහකොමසාරිස්වරයාගේ වාර්තාව අනාවරණය කළේය.

ඊට අලුතින් එක්ව ඇති පිරිස මිලියන 2.5කි.

2023 වසරේදී දිලිඳු ප්‍රතිශතය 27.4 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර ඉදිරි වසර කිහිපය තුළද එය 25% ඉක්මවනු ඇතැයි වාර්තාවේ දැක්වෙයි.

එහි සඳහන් වන්නේ ආහාර අනාරක්ෂිත බව මානව හිමිකම් භූක්තිවිදීමට ප්‍රධාන බාධාවක් බවය.

සෞඛ්‍යයට ඇති අයිතියටද ආහාර අනාරක්ෂිතභාවය බලපෑ බව මහකොමසාරිස්වරයාගේ වාර්තාවේ සඳහන්ය.

පාස්කු ඉරිදා ප්‍රහාරය

ළමුන්ගේ අධ්‍යාපනය බිඳ වැටිමේ අවදානම ද ඉහල ගොස් ඇති පෙන්වා දෙන වාර්තාව අනාවරණය කර සිටින්නේ සාමාන්‍යයෙන් ගැහැණු ළමුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් විමේ අවදානම ඉහළ ගොස් ඇති බවය.

කාන්තාවන්ට රැකියා අහිමි විමෙන් සමාජ ආරක්ෂණය අඩු විමේ අවදානමට ලක් විය හැකි බව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාවේ සඳහන් වේ.

සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පවසන්නේ ශ්‍රී ලංකාව තුළ තවමත් වගවීම පිළිබඳ අඩු ලුහුඬුකම් ඇති බවය.

“යුද අපරාධ වේවා, වඩාත් මෑත කාලීන මානව හිමිකම් උල්ලංඝන, දූෂණ හෝ බලය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් ගත් විට ශ්‍රී ලංකාවේ අඛණ්ඩ වගවීමේ අඩුලුහුඬුකම් තිබෙනවා. රට ඉදිරියට ගෙන යාමට නම් එය ආමන්ත්‍රණය කළ යුතු” යැයි මහ කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

“මානව හිමිකම් කඩකිරීම්වලට ගොදුරුවූවන් සත්‍යය, යුක්තිය, වන්දි ගෙවීම සහ එවැනි සිදුවීම් නැවත සිදු නොවන බවට සහතික කිරීමට ගනු ලබන පියවර පිලිබඳ දිගටම බලා සිටිනවා” යැයි මහකොමසාරිස්වරයාගේ වාර්තාවේ සදහන් වේ.

ඔහු පෙන්වා දෙන්නේ, යුද්ධය අවසන් වී වසර 14ක් ගතවී ඇතත්, වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වල දස දහස් ගණනක් සත්‍යය, යුක්තිය සහ විසඳුම් සෙවීමේ වේදනාව අත්විඳිමින් සිටින බවය.

සත්‍ය හා සංහිඳියා කොමිසමට වින්දිතයන්ද එකතු කරගන්නා ලෙස ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි.

සත්‍ය සෙවීමේ ක්‍රියාවලිය, වින්දිතයින් සහ බලපෑමට ලක් වූ ප්‍රජාවන් විසින් විශ්වාස කළ යුතු බවත්, එය සත්‍ය තොරතුරු විමසීම තුළින් ආරම්භ වන බවත් පවසන මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා “එය සිදු විය යුත්තේ වින්දිතයින්ට පළිගැනීම්වලට බිය නොවී කටයුතු කිරීමට නිදහස ඇති පරිසරයක පමණක් නොව, ඔවුන්ගේ අර්ථවත් සහභාගීත්වයට ඉඩ සලසන තත්වයන් තුළ” යැයි සිය වාර්තාවෙන් පෙන්වා දෙයි.

“සත්‍යය සෙවීම පමණක් ප්‍රමාණවත් නැහැ. වගවීම සඳහා පැහැදිලි කැපවීමක් මෙන්ම දීර්ඝ කාලීන වෙනසක් ක්‍රියාවට නැංවීම සඳහා දේශපාලන අභිලාෂයක් ද තිබිය යුතුය, ”චර්ක් පැවසීය.

විකාශන අධිකාරී පනත

ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත විකාශන අධිකාරී පනත පිළිබදව ද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා සිය වාර්තාවෙන් අවදානය යොමු කර ඇත.

විකාශන නියාමන අධිකාරී පනතේ ස්වාධීනත්වය පිළිබදව ගැටලු මතුකරන බව වාර්තාවේ සදහන්ය.

එම පනත මගින් ස්ථාපනය කිරීමට යෝජිත කොමිසමට රජයේ නියෝජිතයින් පස් දෙනෙකු පමණක් පත් කිරීම නිසා එහි ස්වාධීනත්වයක් නොමැති බවද එම වාර්තාවෙන් අවධාරණය කර ඇත.

විකාශන නියාමන අධිකාරී පනත හරහා ප්‍රකාශනයේ නිදහසට ගැටලුකාරී තත්ත්වයක් ඇති විය හැකි බව පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම, මෙය ත්‍රස්තවාදය වැළැක්විමේ පනත හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත මෙන් ජනතාව මර්දනයට යොදා ගනිවි දැයි සැක මතු කර තිබේ.

ත්‍රස්තවාදය යන්න හැඳින්වීම හරහා භාෂණයේ නිදහසට බාධා එල්ල කිරිමේ හැකියාව තවමත් එම පනතේ සඳහන් බවද මහ කොමසාරිස්වරයා සිය වාර්තාවෙන් පෙන්වා දෙයි.

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ට ශ්‍රී ලංකාවෙන් පිළිතුරු

පාස්කු ඉරිදා ප්‍රහාරය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා ශ්‍රී ලංකාව විසින් අඛණ්ඩව මෙවර ද ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ජීනිවා නුවර එක්සත් ජාතින්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය වන හිමාලි අරුණතිලක මහත්මිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහකොමසාරිස්වරයාගේ වාර්තාවට පිළිතුරු ලබාදෙමින් මේ බව පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජීනිවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මිය,

“ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වගවීමේ ව්‍යාපෘතියක් ඇතිකිරීම සඳහා සම්මත කරගැණුනු 46/1 සහ 51/1 දරන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා ශ්‍රී ලංකාව විසින් අඛණ්ඩව ප්‍රතික්ෂේප කරනු ලබනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහකොමසාරිස්වරයා ඉදිරිපත් කළ ලිඛිත වාර්තාව එහි නිගමනයන් සහ නිර්දේශ ද ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරනවා. සාක්ෂි එක්රැස් කිරීමේ යාන්ත්‍රණය ඇතුළු පිළිගත නොහැකි අන්තර්ගතයන් සහිත අදාළ යෝජනාවලට මූලික වශයෙන්ම එකඟවිය නොහැකි බැවින් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට සමාජික රටවල් බොහෝමයක් කටයුතු කළා. මෙය මානව හිමිකම් මණ්ඩලයේ සහ එහි සාමාජික රටවල සම්පත් අනවශ්‍ය ලෙස යොදා ගැනෙන නිශ්ඵල ක්‍රියාවලියක් බව ශ්‍රී ලංකාවේ අදහසයි. එබැවින් ඊට අප සහාය නොදක්වන අතර රටට සහ එහි ජනතාවට ප්‍රයෝජනවත් එක්සත් ජාතින්ගේ සංවිධානයේ අනෙකුත් යාන්ත්‍රණයන්ට පමණක් අප ඵලදායි ලෙස සම්බන්ධවෙනවා. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ මෙම ලිඛිත වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ වත්මන් වාතාවරණය සැබෑ ලෙස නිරූපනය වන්නේ නැහැ. පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව අත්කරගත් ආර්ථික, සාමාජීය සහ මුල්‍ය ස්ථාවරත්වය දේශිය සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්ව තිබෙනවා. ආර්ථික සහ මුල්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත තැනැත්තන් පවා ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රකෘතිමත්භාවය පිළිබඳ විශ්වාසයෙන් පසුවනවා.”