ඉතිහාසයේ පළමු වරට 20/20 තරගාවලි ජයක්

0
20/20 තරගාවලි ජයක්

ඉතිහාසයේ පළමු වරට එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව 20/20 තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්වී තිබුණි.

ඒ, ඊයේ පැවති තෙවන 20/20 තරගය කඩුලු 7කින් ජයගනිමිනි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 19ක් තුළ සියලු ක්‍රීඩිකාවන් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 116ක් පමණි.

පන්දු යැවීමේදී චමරි අතපත්තු කඩුලු 03ක් බිඳ හෙළීමට සමත් වූවාය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කළාය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වූවාය.

20/20 තරගාවලි ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලක්ෂ 75 ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ප්‍රබල එංගලන්ත කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව විස්සයි20 තරගාවලි ජය ලැබූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට ඇමරිකානු ඩොලර් 25,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 75 ක මුදල් ත්‍යාගයක් පිරිනමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු විශේෂ ඇගයීමේ උත්සවයක් ද පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ පැවැති තෙවැනි සහ අවසන් විස්සයි20 තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් ලබා 2-1 ක තරගාවලි ජය ලැබීමට සමත් වූහ.