රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ සාක්ෂි දෙයි

0
සුරේෂ් සලේ

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ මහතා කොළඹ දිසා අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබා දෙමින් පවසා තිබෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විමර්ශනය වෙමින් තිබියදී අන්තර්ජාලය හරහා ප්‍රකාශ නිකුත් කිරීම මඟින් තමන්ගේ කීර්ති නාමයටත් රාජකාරී දිවියටත් අගතියක් සිදු වන බවයි.

ඔහු මෙලෙස සාක්ෂි ලබා දුන්නේ පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් අන්තර්ජාතික යුක්ති සංසදය 2021 ඔක්තෝබර් 23 සූම් තාක්ෂණය ඔස්සේ කළ සාකච්ඡාවකදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව තුවාන් සුරේෂ් සලේ මහතා ගොනු කරන ලද නඩුවක් විභාගයට ගන්නා අවස්ථාවේදීයි.

එම ප්‍රකාශය තමාට පමණක් නොව තම දරුවන්ටද අගතිදායක වූ බවත් සිය දරුවන්ට පවා තර්ජන එල්ල වූ බවත් අවුරුදු 36ක තමාගේ රාජකාරී කාලයට එය දැඩි බලපෑමක් වූ බවත් සලේ මහතා පවසනවා.

ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටින්නේ මෙම අගතිගාමී ප්‍රකාශය නිසා තම දරුවා ඉගෙනගත් පාසලෙන් ඉවත් කර ගැනීමට පවා සිදු වූ බවයි.

මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජනවාරි මස 25 කැඳවීමට විනිසුරුවරයා නියම කර තිබෙනවා.