ජාත්‍යන්තර මට්ටමේ පිරමීඩ ජාවාරම්කරුවන් සිවු දෙනෙක් පොලිස් අත් අඩන්ගුවට

0
ජාත්‍යන්තර මට්ටමේ පිරමීඩ ජාවාරම්කරුවන්

ජාත්‍යන්තර මට්ටමේ පිරමීඩ ජාවාරම්කරුවන් වන චීන ජාතිකයන් දෙදෙනෙකු සහ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට තුළ සිදුකළ පිරමීඩ ජාවාරමෙන් චීන ජාතිකයන් රුපියල් කෝටි 4ක පමණ මුදලක් වංචාකර ඇති බව පොලීසිය පවසයි.

රුපියල් ලක්ෂ 7ක මුදලකට කුලී පදනම මත බොරැල්ලේ නිවසක සිටි චීන ජාතිකයෙකු පසුගිය 19 වනදා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ සිය නිවස පිරිසක් විසින් කොල්ලකෑ බව පවසමිනි.

පැමිණිල්ල මගින් ඔහු සඳහන් කර තිබුණේ කුලී පදනම මත ලබාගත් තම වෑන් රථය, ලැප්ටොප් පරිගණක 7ක් සහ රුපියල් ලක්ෂ 170ක මුදලක් එලෙස කොල්ල කල්ලිය විසින් කොල්ලකා පළාගොස් ඇති බවය.

එය අසල සවිකර තිබූ CCTV කැමරාවකද සටහන්ව තිබුණි.

එම භාණ්ඩවල මුලු වටිනාකම රුපියල් කෝටි 4ක් පමණ වන බවත් ඔහු පවසා තිබේ.

ඒ අනුව, කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත විමර්ශන සිදුකළ පොලීසිය විසින් දුරකතන දත්ත හා CCTV දර්ශන පරීක්ෂා කර ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගනු ලැබීය.

ඉන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඒ අතර අදාළ චීන ජාතිකයාගේ රියදුරුද සිටින බවය.

ඔවුන් පොලීසිය හමුවේ පවසා ඇත්තේ, චීන ජාතිකයා විසින් රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවක් තමන්ට ලබාදී කොල්ලයක් සිදුකරන අයුරින් රඟපෑමක් සිදුකළ බවය.

අනතුරුව චීන ජාතිකයා හා ඔහුගේ තවත් හිතවත් චීන ජාතිකයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, කොළඹ වරාය නගරයේ ව්‍යාපෘති සිදුකරන බව අඟවමින් මෙරට තුළ මහා පරිමාණයෙන් ඔවුන් දෙදෙනා පිරමීඩ ජාවාරම සිදුකර ඇති බවය.

එමගින් රුපියල් කෝටි 4ක පමණ මුදලක් වංචා කර ඇති බවත් පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

සැකකාර චීන ජාතිකයන් උපයාගත් මුදලින් රුපියල් කෝටි ගණනක් කැසිනෝ ක්‍රීඩා කිරීමට ගොස් පරාද වීම හේතුවෙන් එය වසා ගැනීම සඳහා මෙවැනි ව්‍යාජ කොල්ලයක් සිදුකළ බවත් ඔවුන් පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබුණි.

පසුව සැකකාර චීන ජාතිකයා පිරමීඩ ජාවාරම සිදුකළ කොළඹ කුරුඳුවත්තේ පිහිටි නිවස පොලීසිය විසින් පරීක්ෂා කළේය.

ඒවන විටත් එහි සිටි චීන ජාතිකයන් 15දෙනා ලැප්ටොප් පරිගණක 40ක් පමණ රැගෙන පළාගොස් තිබුණි.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් ජාත්‍යන්තර මට්ටමේ පිරමීඩ ජාවාරම්කරුවන් බවද පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

එමෙන්ම සැකකරුවන් කොල්ලකෑ බව පැවසූ වෑන් රථය ඇතුළු භාණ්ඩ තොගයද පොලීසිය විසින් සොයා ගනු ලැබීය.

සැකකරුවන් නීතිවිරෝධී අයුරින් මෙරටට ආනයනය කළ විදෙස් දුම්වැටි තොගයක් ද එහිදී පොලීසිය සිය භාරයට ගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මකය.