කෘත්‍රිම බුද්ධිය ඉන්දියාවටත් ප්‍රවෘත්ති නිවේදිකාවක් ලබා දෙයි

0

කෘත්‍රිම බුද්ධිය

ඩිජිටල්කරණය වූ මිනිස් ලෝකයේ අසීමාන්තික තාක්ෂණයෙන් ලොව විවිධ ඩිජිටල් නිර්මාණ බිහිවෙමින් පවතී. වර්තමානයේදී තාක්ෂණයේ නවමු මංපෙත් සහ ක්‍රමවේද යොදාගන්නා ආකාරය අපට දකින්නට අසන්නට ලැබේ. කෘත්‍රිම බුද්ධිය මිනිසාගේ දෛනික වැඩකටයුතු සඳහා ලොව බොහෝ රටවල් භාවිත කරනු ලබයි. කෘත්‍රිම බුද්ධිය හෙවත් Artificial Intelligence යනු බුද්ධිමත්බවෙහි මූලික හරය තුළ ක්‍රියා කරන බුද්ධිමත් නියෝජිතයන් නිර්මාණය කිරීම ලෙස හැඳින්විය හැකිය.

කෘත්‍රිම බුද්ධිය ගැන කතා කරන විට එහි නිර්මාතෘවරයා වන ජෝන් මැකාති අමතක කළ නොහැකිය. ඔහු 1956 වසරේදී හ¾දුන්වා දුන් කෘත්‍රිම බුද්ධිය නමැති සංකල්පය මේ වනවිට ලෝකය අතික්‍රමණය කරමින් පවතියි. කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය ඉතා කාර්යක්‍ෂමව සහ අති සාර්ථක අන්දමින් ලෝකයේ බොහෝ රටවල් විවිධ ක්ෂේත්‍ර සඳහා භාවිත කරනු ලබයි. ඒ අනුව වෛද්‍ය ක්ෂේත්‍රය, අභ්‍යවකාශ ගවේෂණය, මූල්‍ය සම්පත්වල ආරක්ෂාව, යුදමය කාර්යයන්, පරිසරය රැකගැනීමට වැනි කාර්යයන් සඳහා මෙම AI තාක්ෂණය යොදාගනු ලබයි.

එලෙස කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය ඩිජිටල් මාධ්‍ය අතික්‍රමණය කර ඇති ආකාරය වර්තමානයේ දැකගත හැකිය. රූපවාහිනී මාධ්‍යයේ නිරතවන සුන්දර ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන් ඔබ දැක ඇති. ඔබ සිහිනෙන් හෝ සිතුවාද මිනිස් ස්වරූපයෙන්ම සිටින රොබෝ ප්‍රවෘත්ති නිවේදිකාවන් මාධ්‍ය තුළින් ඔබ හමුවට පැමිණේවි කියා. වර්තමාන ඩිජිටල් මාධ්‍ය ලෝකයේ එය මේවන විටත් සාර්ථකව සිදුවෙමින් පවතියි.

අපි අද ඔබට ගෙන එන්නේ ලෝකයේ ප්‍රබලයන් වන චීනය විසින් ලොවට හ¾දුන්වා දුන් AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන රොබෝ ප්‍රවෘත්ති නිවේදිකාව වන Ren Xiaorong පිළිබඳවයි.

වසරේ දින 365 පුරාවට කිසිදු වෙහෙසක් නොමැතිව, විවේකයක් නොමැතිව ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඇය සතුය. චීනයේ People’s Daily පුවත් නාලිකාව විසින් AI තාක්ෂණය භාවිතයෙන් මෙම ඩිජිටල් ප්‍රවෘත්ති නිවේදිකාව නිර්මාණය කර තිබේ. ඇයගේ විශේෂතාව වන්නේ ඇය සතුව පරිණත නිවේදිකාවන් දහසකගේ පමණ කුසලතාවක් සහ නිවේදන හැකියාවක් පැවතීමයි. එමෙන්ම ඇයට එකදු වචනයක් හෝ නොවැරදිව සුමටව ඉදිරිපත් කිරීමේ හැකියාව සතුය. එසේම ඇයට ලබාදෙන ඕනෑම මාතෘකාවක පුවත් වසර පුරාවටම නොනවත්වා ඉදිරිපත් කිරීමේ හැකියාවද පවතියි.

ඇය සතුව Cutting edge technologies,tax and fee reduction,employment වැනි ඕනෑම ක්ෂේත්‍රයකින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු සැපැයීමේ හැකියාව පවතින බව වාර්තා වේ. චීනය විසින් 2022 වසරේදී Winter Olympics in Beijing සඳහාද ඩිජිටල් ප්‍රවෘත්ති නිවේදිකාවක් නිර්මාණය කර ඇති අතර එය චීනයේ පළමු AI Sign language presenterGuo Guo ලෙස සඳහන් වේ. එමෙන්ම චීනය විසින් එළිදක්වන ලද ප්‍රථම ප්‍රවෘත්ති නිවේදිකාව ඇය නොවූවාය. මීට පෙර 2019 වසරේදී චීන රාජ්‍ය මාධ්‍ය විසින් සිය පළමු AI තාක්ෂණයෙන් ගොඩනඟන ලද ප්‍රවෘත්ති නිවේදිකාව වන Guo Guo හ¾දුන්වාදී තිබේ. ඇයට ඕනෑම මොහොතක ඇගේ කොණ්ඩා මෝස්තර සහ ඇ¾දුම් මෝස්තර වෙනස් කිරීමේ හැකියාවක් තිබිණි.

එසේම වෙනත් රටවල් පවා ඩිජිටල් මාධ්‍ය වෙත AI තාක්ෂණය යොදා ගනිමින් ප්‍රවෘත්ති නිවේදිකාවන් නිර්මාණය කර තිබේ. ඒ අනුව  මීට පෙරාතුව වෙනිසියුලාව විසින් Fake AI Generated ඩිජිටල් ප්‍රවෘත්ති නිවේදිකාවන් දෙදෙනකු භාවිත කර ඇමරිකානු නිවේදිකාවන් ලෙස පෙනී සිටිමින් අසත්‍ය පුවත් ප්‍රචාරණයට කටයුතු කර තිබූ බව සඳහන් වේ.

එපමණක් නොව ඉන්දියාව විසින්ද AI තාක්ෂණය යොදා ගනිමින් ඩිජිටල් මාධ්‍යකරණය තුළට නිවේදක නිවේදිකාවන් හ¾දුන්වාදී තිබේ. එලෙස හ¾දුන්වා දුන් ප්‍රවෘත්ති නිවේදිකාව “Sana” ය. India Today ප්‍රවෘත්ති විකාශය සඳහා ඇයව යොදාගෙන කටයුතු කිරීමට ඔවුන් පෙලඹී තිබේ.

කෙසේ නමුත් මෙම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් සිදු කරන ලද නව නිර්මාණ සහ සොයා ගැනීම් ඇසුරින් මිනිසාගේ දෛනික ක්‍රියාවලීන් පමණක් නොව ඩිජිටල් මාධ්‍යයත් අතික්‍රමණය කර තිබේ. එහිදී අසත්‍ය පුවත් ප්‍රචාර සඳහාද මෙවන් තාක්ෂණික උපක්‍රම යොදාගත හැකි බැවින් ඒ සම්බන්ධව කටයුතු කිරීමේදී ප්‍රවේශම් විය යුතුය.

පසුගිය වසර කිහිපය තුළ චීනය මෝටර් රථ, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය දක්වාම කෘත්‍රිම බුද්ධිය සඳහා විශාල වශයෙන් ආයෝජනය කර ඇත.

චීනයේ ඉහළම දේශපාලන රැස්වීම් දෙකෙහි අවසන් සැසිය අවසානයේ චීන රාජ්‍ය මාධ්‍ය විසින් කෘත්‍රිම බුද්ධිමය බලයෙන් ක්‍රියා කරන ප්‍රවෘත්ති නිවේදිකාව කරළියට පමුණුවන ලදී. එලෙස ලෝකයට මුල්වරට හ¾දුන්වා දුන් Ren Xiaorong තම මුල්ම ප්‍රවෘත්ති නිවේදනය ආරම්භ කිරීමට පෙරාතුව ඇයව නරඹන්නන් වෙත හ¾දුන්වාදී තිබුණේ මෙසේය.

“හෙලෝ, මගේ නම Ren Xiaorong . මමයි පීපල්ස් ඩේලි පුවත්පතට අලුතින් එක්වූ AI තාක්ෂණයෙන් යුක්ත ප්‍රවෘත්ති නිවේදිකාව. වසරේ දින 365 පුරාවටම දවසේ පැය විසිහතරම ඔබ වෙනුවෙන් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට මම සූදානම්. ඔබ සැමදා මගේ රුව දකිනු ඇත. කිසිදු වෙහෙසකින් තොරව, විවේකයකින් තොරව සහ අසනීපයකින් තොරව නුඹ වෙනුවෙන් ප්‍රවෘත්ති වාර්තා කරන්නට මම සූදානම්.”

ඇය එලෙස සඳහන් කර ආරම්භ කළ ඇගේ පුවත් විකාශය ලොව පුරා නැරඹුම් මිලියන 76ක් රැස්කරගෙන තිබිණි. එයින් පසුව ඒ සම්බන්ධව වෙබ් පරිශීලකයන් විවිධ අදහස් පළ කර තිබිණි. ඇතැම් වෙබ් පරිශීලකයන් සඳහන් කරන්නේ ඇගේ මුහුණ හැඟීම් විරහිත බවත් කටහඬ ව්‍යාජ සහ අස්වාභාවික බවත්ය. එමෙන්ම ඇතැම් වෙබ් පරිශීලකයන් පෙන්වා දෙන්නේ මෙලෙස කෘත්‍රිම බුද්ධියක් සහිත ප්‍රවෘත්ති වාර්තාකරුවන් යොදා ගැනීමෙන් ප්‍රවෘත්තිවල ගුණාත්මකභාවය වැඩිදියුණු කරගත හැකි බවත් ප්‍රවෘත්ති මැදිරි තුළ ඇතිවන අනවශ්‍ය පීඩනය ඉවත්වන බවත්ය.

කෙසේ වුවත් අනාගතයේදී මෙවන් AI තාක්ෂණයෙන් නිර්මිත රොබෝවරුන් විවිධ වෘත්තීන් සඳහා යොදා ගැනීමෙන් මිනිසාට විවිධ පීඩාවන්ට ලක්වීමට ඉඩ ඇත. මන්ද අසීමිත ලෙස ලෝකයේ බොහෝ රටවල රැකියා වෙළෙඳපොළේ තරගකාරීත්වයක් දැනටමත් පැනනැඟී ඇති බැවිනි. එබැවින් මිනිසුන් අභිභවා මෙලෙස කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝවරුන් වෘත්තීන්වලට යොදා ගැනීමෙන් මිනිසුන්ට රැකියා විරහිත තත්ත්වයක් ඇතිවිය හැකිය. ඇතැම්විට මිනිසුන්ගේ වෘත්තීන් පහසු කරගැනීමටත් හැකියාව පවතින බව විද්‍යාඥයන් අනාවැකි පළකොට තිබේ. එලෙස අදහස් දැක්වූ තාරකා භෞතික විද්‍යාඥ මාටින් රීස් පවසා සිටියේ අනාගතයේ නුදුරු දිනෙක කෘත්‍රිම බුද්ධිය මිනිසා අභිභවා යා හැකි බවයි. ඩිජිටල්කරණය වූ මාධ්‍යකරණය මෙන්ම සෙසු ක්ෂේත්‍ර තුළ රොබෝවරුන් තම අණසක පතුරුවන විට මුළු ලෝකයම දිනෙක රොබෝවරුන්ගේ පාලනයකට නතුවේවිද?