ඇසළ පෙරහර මංගල්‍යය කවදාවත් මෙහෙම කරල නෑ මේක නවත්තන්න – සජිත් / හැමදාම කරනවා අපිට ගැටලුවක් නෑ – දියවඩන නිළමේ

0

ඇසළ පෙරහර මංගල්‍යය

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂ අනු නවදහස් දහයක මුදලක් (13299010) වැය වන බවට ඇස්තමේන්තු කර එම මුදල් කලින් ගෙවන ලෙස ශ්‍රී දළදා මාලිගාවට සහ සතර මහා දේවාලයන්ට දන්වා ඇත.

රාජ්‍ය උත්සවයක් ලෙස ගැසට් කර ඇති මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු මස 21 සිට 31 දින දක්වා වීදි සංචාරය කිරීමට නියමිත අතර ඇස්තමේන්තුවේ වීදි ආලෝකකරණය සඳහා වැයවන මුදල් කලින් දක්වා තිබීම විශේෂත්වයකි .

විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු (මහනුවර නගරය) එච්. එස්. බණ්ඩාර මහතාගේ අස්සනින් යුතුව අදාල ලිපිය ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා සහ සතර මහා දේවාල වල බස්නායක නිලමේවරුන් වෙත යොමු කර තිබේ .

එම ඇස්තමේන්තුවට අනුව ශ්‍රී දළදා මාලිගාව  රුපියල් 34,12479.00 ක මුදලක් ද, නාථ දේවාලයට  රුපියල් 11,22,145 ක  මුදලක් ද, විෂ්ණු දේවාලය රුපියල් 13,68385 මුදලක් ද, කතරගම දේවාලයට රුපියල් 11,02705 මුදලක් ද, පත්තිනි දේවාලයට රුපියල් 11,02705 ක  මුදලක්ද  , පෙරහර කටයුතු ආරම්භ වීමට පෙර ගෙවන ලෙස දැනුම් දී තිබේ .

ඊට අමතරව එම කාලය තුළ වීදි ආලෝකකරණය සඳහා විදුලිබල මණ්ඩලයට රුපියල් 44,41,273 ක මුදලක් ද ගෙවන ලෙස දැනුම් දී තිබේ .

ඇස්තමේන්තුගත එම මුදල් ගෙවීම් සාමාන්‍යඅධිකාරි විදුලිබල මණ්ඩලය නමින් ලියන ලද චෙක්පතක් මගින් ගෙවන ලෙස ද විදුලිබල මණ්ඩලය දැනුම් දී තිබේ.

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා පෙර කිසිකලෙක නොකළ අයුරින් දළදා මාළිගාවට විදුලි බිල්පතක් යවමින් ආණ්ඩුව සිය අශිෂ්ඨ පිළිවෙත පෙන්නුම් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කෙසේ වෙතත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසන්නේ සෑම වසරකම ඇසළ පෙරහැර පැවැත්වීමට පෙර විදුලිබල මණ්ඩලය මෙවැනි ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන බවය.

මෙවර ඓතිහාසික මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අගෝස්තු 21 වන දින වීථී සංචාරය කිරීමට නියමිත අතර අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු 30 වන දින පැවැත්වේ.

ඇසළ පෙරහර මංගල්‍යය කවදාවත් මෙහෙම කරල නෑ මේක නවත්තන්න – සජිත්

විපක්ෂනායක සජිත් ප්‍රෙමදාස මහතා අද (16) දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ බෞද්ධයින්ගේ මුදුන්මල්කඩ වන ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැරට පෙර කිසිකලෙක නොවු විරූ පැරිදි විදුලි බිල්පතක් ලියා ආණ්ඩුව ස්වකීය අශිෂ්ඨ, අමනෝඥ පිළිවෙත හෙළිදරව් කර ඇති බවය.

එමෙන්ම අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථාන උදෙසා සහනදායි විදුලි බිලක් වෙත යොමුවීම ආණ්ඩුව නොවලහා කළ යුතු අතර ඒ උදෙසා සංස්කෘතික අරමුදලේ දායකත්වය ලබා ගැනීම කළ හැකි බවය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ පිළිබඳ අදහස් පළකළේය.

ඇසළ පෙරහර මංගල්‍යය හැමදාම කරනවා අපිට ගැටලුවක් නෑ – දියවඩන නිළමේ

ඒ අනුව මේ පිළිබඳව අප ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගෙන් විමසීමක් කළේය.

ඔහු සඳහන් කළේ, සෑම වසරකම ඇසළ පෙරහැර පැවැත්වීමට පෙර විදුලිබල මණ්ඩලය මෙවැනි විදුලිබිලෙහි පිරිවැය සම්බන්ධ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන අතර ඒ අනුව ශ්‍රී දළදා මාලිගාව, සතර මහ දේවාල සහ මහනුවර මහ නගර සභාව එක්ව සාකච්ඡා කර අදාළ ගෙවීම සිදුකරන බවය.

මීට පෙර වසරවලදී පෙරහැරෙන් පසුව අදාළ ගෙවීම් සිදුකළත් මෙවර පෙරහැරට පෙර එම මුළු මුදල ගෙවන ලෙස දැනුම් දුන් බවත්, එහි ගැටලුවක් නොමැති බවත් දියවඩන නිලමේවරයා පැවසීය.