ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (07) පැවති තරගයෙන් පැතුම්ගෙන් ශතකයක් සමගින් කඩුලු 8ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
2023 අයිසීසී ලෝක කුසලානයට අදාළ සුදුසුකම් ලැබීමේ තරග වටය මේ දිනවල පැවැත්වෙන්නේ, සිම්බාබ්වේ රාජ්‍යයේදී ය.
එහි මූලික තරග වටයේ දී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, සුපිරි හය දෙනාගේ තරග වටය සඳහා සුදුසුකම් ලැබුවේ, ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට ම පැමිණෙමිනි.
සුපිරි හය දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය අද (07) පැවැත්වුණේ, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර හරාරේ ක්‍රීඩාංගණයේදී ය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක, පළමුව පන්දුවට පහර දීම සඳහා කොදෙව් නායක ශෙයි හෝප්ට ආරාධනා කළේ ය.
කොදෙවුවන් වෙනුවෙන් පළමුව පිති අතට ගත් බ්‍රෙන්ඩන් කිං සහ ජොන්සන් චාල්ස්, පළමු කඩුල්ල සඳහා ලකුණු ලකුණු 36ක සබඳතාවක් ගොඩනැඟුවේ, මහීෂ් තීක්ෂණ හට කොදෙව් ඉනිමේ පළමු කඩුල්ල ලියා දෙමිනි.
ලකුණු 10ක් ලබා සිටි බ්‍රෙන්ඩන් කිං දැවී ගියේ මහීෂ් තීක්ෂණ යොමු කළ පන්දුව කෙලින් ම කඩුල්ලේ දැවටීමෙනි.
ශමාහ් බෲක්ස් ලකුණු 20ක් ලබා සිටිය දී දෙවන කඩුල්ල ලෙස දැවී ගියේ, මහීෂ් තීක්ෂණගේ ම පන්දුවක් හමුවේයි.
සුපිරි පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ, ශෙයි හෝප්ව ද ලකුණු දෙකක් පමණක් ලබා සිටිය දී ප්‍රේක්ෂකාගාරය වෙත හරයා යැවීමට සමත් විය.
කොදෙව් ඉනිමා සිවු වැනි කඩුල්ල ලෙස ජොන්සන් චාල්ස් ලකුණු 39ක් ලබා සිටිය දී දවා ගැනීමට මතීෂ පතිරණට හැකි විය.
නිකලස් පූරන් ලකුණු 14ක් ලබා සිටිය දී දැවී ගියේ කණ්ඩායමට අලුතින් කැඳවූ දුෂාන් හේමන්තගේ පන්දුවක් හමුවේයි.
කයිල් මේයර්ස් සහන් ආරච්චිගේ විසින් යොමු කළ පන්දුවකින් ලකුණු 18කට දැවී යද්දී රොස්ටන් චේස් දුෂාන් හේමන්තගේ පන්දුවකට එක් ලකුණක් පමණක් ලබා සිටිය දී දැවී ගියේ ය.
අට වන කඩුල්ල ලෙස රොමාරියෝ ශෙපර්ඩ් දැවී ගියේ, නැවතත් ක්‍රියාත්මක වූ මහීෂ් තීක්ෂණගේ පන්දුවක් කෙලින් ම කඩුල්ලේ මැද ඉන්න මත දැවටෙමිනි.
දැවී යන විට ඔහු ලකුණු 26ක් ලබා සිටියේ ය.
නව වන කඩුල්ල ලෙස කෙවින් සින්ක්ලෙයාර් ලකුණු 25ක් ලබා සිටිය දී දිල්ශාන් මධුසංකගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ය.
කොදෙව් ඉනිමේ නැංගුරම බවට පත් වූ කීසි කාති පන්දු 96කින් අගනා ලකුණු 87ක් ලබා ගැනීමට සමත් විය.
ඔහුගේ ඉනිමට අලංකාර හතරේ පහර 6ක් එක් හයේ පහරක් අන්තර්ගත වූ අතර, කොදෙව් ඉනිමට සවියක් වූ අනෙක් පිතිකරු ලෙස ජොන්සන් චාල්ස් ලකුණු 39ක් ලබා ගත්තේ ය.
පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ ලකුණු ලකුණු 34කට කඩුලු හතරක් දවා ගැනීමට සමත් වූ අතර, දිල්ශාන් මධුසංක, දසුන් ශානක, මතීෂ පතිරණ හා සහන් ආරච්චිගේ එක් කඩුල්ල බැගින් ලබා ගැනීමට සමත් විය.
සිය මංගල එක්දින තරගය ක්‍රීඩා කළ දුෂාන් හේමන්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු දෙකක් ලබා ගත්තේ ය.
පිළිතුරු ඉනිම සඳහා පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න පිටියට පිවිසි අතර, ඔවුන් දෙදෙනාගේ අතිවිශිෂ්ට අරම්භක සබඳතාව පළමු කඩුල්ල සඳහා ලකුණු 192ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට තරම් ශක්තිමත් එකක් විය.
පැතුම් නිස්සංක හතරේ පහර 14ක් සමඟ අගනා ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ සඳහා ඔහු වැය කළේ පන්දු 113කි.
පැතුම්ගේ දැවී යාමෙන් පසු දිමුත් කරුණාරත්නට ද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නො හැකි වූ අතර, ඔහු වටිනා ලකුණු 83ක් ලබා සිටිය දී දැවී ගියේ ය.
පැතුම්ගෙන් ශතකයක්
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (07) පැවැත්වෙන තරගයේ දී අගනා ශතකයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට හැකියාව ලැබිණි.
දැවී යන විට ඔහු ලකුණු 104ක් ලබාගෙන සිටි අතර, ඒ සඳහා ඔහු වැය කළේ පන්දු 114ක් පමණි.
ඔහුගේ ඉනිම අලංකාර හතරේ පහර 14කින් වර්ණවත් විය.