ගල් මුල් භාදක මැද්දෙන් ඉවසීමෙන් නොසැලී ආ සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු පිතිකාරිනියන්ගේ ලැයිස්තුවේ 1

0

සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායක සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු ICC එක්දින ශ්‍රේණිගත කිරීම් හි පිතිකාරිනියන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පැමිණ තිබේ.

ස්ථාන 6ක් ඉදිරියට පැමිණ චමරි අතපත්තු මෙම ස්ථානය හිමිකරගෙන ඇත.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී චමරි දැක්වූ සුපිරි දක්ෂතා සමග ඇයට මෙම ස්ථානය හිමිව ඇත.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී චමරි අතපත්තු පන්දු 83කට ලකුණු 108ක් රැස්කරගත්තේය.

එම එක්දින තරගාවලියේ තුන්වන සහ අවසන් තරගයේදීද විශිෂ්ට දක්ෂතා දැක්වූ චමරි පන්දු 80 කදී වේගවත් ලකුණු 140ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

එම ඉනිම දෙකේදීම නොදැවී පන්දුවට පහරදෙමින් චමරි මෙම දක්ෂතා දැක්වීම තවත් විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයට පත්වූ පළමු අවස්ථාව මෙයයි.

ක්‍රිකට් කියන්නේ මුළු ලෝකයේ බොහෝ දෙනෙක් ආදරේ කරන හා ප්‍රිය කරන ක්‍රීඩාවක්. චමරි අතපත්තු කියන්නේ ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන නායිකාව. ඇයගේ අලුත් තොරතුරු මේ විදිහට පුවත්පතක සදහන් වී තිබුණා. මේ ඒ ගැනයි

කොහොමද ඔබට ක්‍රිකට් ක්‍රීඩාවට මුලින්ම ඇල්මක්, කැමැත්තක් ඇතිවෙන්නේ?

ක්‍රිකට් ක්‍රීඩාවට මම ඇලුම් කරන්නේ පුංචි කා‍ලේ ඉඳලමයි. මගේ මාමා ක්‍රිකට් පුහුණුකරුවෙක්. ඒ නිසාම ක්‍රිකට් පිළිබඳව අහන්න දකින්න ලැබුණා. ඔහුගේ අඩිපාරේ යමින් ඔහුගේ උපදෙස් මත තමයි මම ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවෙන්නේ.

තරුණියක් විදිහට ක්‍රිකට් වගේ ක්‍රීඩාවක් තෝරාගනිද්දි ගෙදර පවු‍ලේ අයගෙන් මොනවගේ ප්‍රතිචාරයක් ද ලැබුණේ?

මගේ පවු‍ලේ මමයි අම්මයි අප්පච්චියි විතරයි. මගේ අප්පච්චි මගේ ක්‍රිකට් ජීවිතේ ඉදිරිය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරපු කෙනෙක්. අම්මගෙනුයි අප්පච්චිගෙනුයි මට ලැබුණ සහයෝගය කියා නිම කළ නොහැකියි. ඒ දෙන්නගේ පූර්ණ කැමැත්තත් එක්ක තමයි ක්‍රිකට්වලට අවතීර්ණ වෙන්න මූලික අඩිතාලම වැටුණේ.

ක්‍රිකට් කියන්නේ පාසල්වලත් ජනප්‍රියම ක්‍රීඩාවයි. කොහොමද පාසල් ක්‍රිකට් ජීවිතේ?

මම මූලික අධ්‍යාපනය ලැබුවේ ගොකරැල්ල මහා විද්‍යා‍ලේ. ඊට පස්සෙ ශිෂ්‍යත්වය සමත්වෙලා ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා. මටත් වාසනාවකට ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් තිබුණා.

ඒ පාස‍ලේදී තමයි මුලින්ම ලෙදර් බෝල ක්‍රිකට් කියන දේ මම පටන් ගන්නෙ. පාසල් කණ්ඩායම නියෝජනය කරමින් සමස්ත ලංකා මට්ටමේ දස්කම් දක්වන්න මා සමත් වුණා. ඒ දක්ෂතා නිසාම 2003 වසරේ කොළඹ කෝල්ස් ක්‍රීඩා සමාජයෙන් ඇරයුමක් ලැබුණා කොළඹ ඇවිල්ලා ක්‍රීඩා කරන්න.

කොළඹ ක්‍රිකට් ක්‍රීඩාව ලොකු අභියෝගයක් වුණාද?

ඔව් ඒක ලොකු අභියෝගයක්. පාසල් යන ගමන්ම ගමේ ඉඳලා පුහුණුවීම්වලට කොළඹ එන්න සිදුවුණා. ඒ ක්‍රීඩා කරපු වසරේදීම ප්‍රිමියර් තරගවලින් ක්‍රීඩා කළා. ඒ පළවෙනි වතාවෙන්ම ජාතික කාන්තා ක්‍රිකට් ක්‍රීඩා සංචිතයට තේරුණා. පුහුණුවීම්වලට ගෙදරින් පිටත් වෙන්නේ පාන්දර තුනට. මගේ අප්පච්චි මගේ පස්සෙන්ම ඉන්නවා. ආයෙත් රෑට ගෙදර යනකොට රෑ දහය වෙනවා.

ඒ අතරට අමතක නොවන දුක්බරම සිදුවීමක් තියෙනවා නේද?

අදටත් මට ඒ ගැන මතක් වෙනකොට දරාගන්න බැහැ. මගේ අප්පච්චි පුංචි කා‍ලේ ඉඳලම මගේ පුහුණුවීම්වලට ආවා. මගේ හැම දෙයක්ම හොයා බැලුවා. 2003 වෙනකම්ම මම පුහුණුවීම්වලට කොළඹ ආවෙ අප්පච්චිත් එක්කයි. දවසක් පුහුණුවීම් සඳහා මාව ගෙනත්දාලා යන අතරමගදී හෘදයාබාධයක් වැලඳිලා මගේ අප්පච්චි සදහටම දෙනෙත් පියාගත්තා. එතකොට මම ජාතික කාන්තා ක්‍රිකට් සංචිතයට තේරිලා හරියටම සතියක් විතරයි ගතවෙලා තිබුණෙ. එතැනින් පස්සෙ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වුණා. කොළඹ එන්න විදිහක් නැහැ. මේ වගේ ප්‍රශ්නත් එකක් මාස හයක් විතර ක්‍රිකට්වලින් ඉවත් වෙන්න මට සිදුවුණා.

ක්‍රිකට් කියන්නේ ඒ වෙනකොට අතහරින්න බැරි තරමටම ජීවිතේ එක්ක බැඳිලා තිබුණ දෙයක් වුණාද?

ඔව්. ඒ මාස හයේ මගේ පාස‍ලේ සහ කුරුණෑගල ක්‍රීඩා සමාජයේ වසන්ත කුමාර සර් එක්ක තනිවම පුහුණුවීම් කළා. ඊට පස්සේ අම්මත් එක්ක ආයෙත් කොළඹ එන්න පටන් ගත්තා.

ඒ ඇවිල්ලා නැවත වතාවක් ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සෙල්ලං කළා. එදා ඉඳලා අද දක්වා මම ජාතික කණ්ඩායම නියෝජනය කරනවා.

අද ඔබ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවන්නෙ කොහොමද ඒ පිළිබඳව දැනෙන හැඟීම?

මම මේ තත්ත්වෙට එන්න හුඟක් දුක් වින්දා. බෝඩිංවල ඉඳගෙන හුඟක් අපහසුතාවලට මුහුණ දෙන්න සිදුවුණා. ඒ නිසා ම අද ඉන්න තැන ගැන ගොඩක් සතුටියි.
දුක් විඳගෙන වුණත් මගේ ඉලක්කයට යන්න මට පුළුවන් වුණා. මට අද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව විදිහට ලෝකයක් දන්න ක්‍රීඩිකාවක්.

ක්‍රිකට් ක්‍රීඩාවේ ඔබ දැක්වූ සුවිශේෂී දක්ෂතා මොනවාද?

ලංකාවේ ප්‍රථම ශතකය වාර්තා කළ ක්‍රිකට් ක්‍රීඩිකාව මමයි. ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 178 ලබාගැනීමත් ලෝක වාර්තාවක්. පහුගිය කා‍ලේ පුරාවට ඒ වගේ දක්ෂතා රැසක් දක්වන්න මට හැකියාව ලැබුණා.

අද මේ වෙද්දී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ගොඩක් අයි.පී.එල්. වගේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරනවා. මටත් අවස්ථාව ලැබුණා. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ගමන්ම ලෝකයේ තිබෙන අනෙක් කණ්ඩායම් නියෝජනය කරමින් ලීග් තරුණ ක්‍රීඩා කරන්න මම මේ වෙනකොට ඔස්ට්‍රේලියාවේ බිග් මැච් තරගාවලිය, එංගලන්තයේ ගියා සුපර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරනවා. ලංකාවෙන් ලීග් තරගාවලි ක්‍රීඩා කරන එකම ප්‍රථම ක්‍රීඩිකාව මමයි. එතෙන්ට එන්න මට ශක්තිය තිබුණා.

මේ ක්‍රීඩා කටයුතුත් එක්ක පෞද්ගලික ජීවිතේ සමබර කරගන්නේ කොහොමද?

දැනට නම් හිතන්නේ ක්‍රිකට් ගැන විතරමයි. නිවාඩුවක් ලැබුණ ගමන් අම්මා බලන්න ගෙදර දුවනවා. තවත් වසර තුනක් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ඒක තමයි එකම අපේක්ෂාව. ඊට පස්සේ පෞද්ගලික ජීවිතේ පිළිබඳ හිතන්න පුළුවන් වේවි.

සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු