මාධ්‍ය මර්දනය සඳහා ඉඩ දෙන්නේ නෑ

0

මාධ්‍ය මර්දනය සඳහා

මාධ්‍ය මර්දනය සඳහා රජය මගින් ගෙන ඒමට සැලසුම් කර ඇති පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට කිසිසේත් ඉඩ ලබානොදන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අනුර කුමාර දිසානායක මහතා මෙසේ කියා සිටියේ  ජාතික ජන බලවේගයේ නාවලපිටිය ආසන සමුළුව අමතමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ ජාතික ආරක්ෂාව ලේබලයට මුවා වී රටේ ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය නැති කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු ජන මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම තුළින් එම ආයතනවලට අගතියක් සිදු වන බව පවසා එම මාධ්‍ය ආයතනවලට ලබා දී ඇති බලපත්‍ර අහෝසි කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.

මේ රටේ මැතිවරණ කල් දමමින් මාධ්‍ය මර්දනය කර ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින්නේ ජනාධිපතිවරණයට සූදානම් වීමට බව අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම ආසන සමුළුවට එම පක්ෂයේ මන්ත්‍රීනි හරිනි අමරසූරිය, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.