සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ

0

සාමාන්‍ය පෙළ විභාගය

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (29) ආරම්භ වීමට නියමිතය.

පෙරවරු 8.30ට විභාගය ආරම්භ වීමට නියමිත අතර එය ලබන මස 08 වනදා දක්වා පැවැත් වේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ සඳහා අපේක්ෂකයින් 472,553 දෙනෙකු පෙනීසිටීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය.

මේ අතර මෙවර විභාගය සඳහා බන්ධනාගාර ගත රැඳවියන් 10 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

මේ අතර විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ සිසු සැරිය බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා යොදවනු ලබන සිසු සැරිය බස් රථ සේවාව පාසල් නිවාඩුව ලබාදීමත් සමග නතර කිරීම සිදුවු ද සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව එම බස් සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර මාධ්‍ය හමුවකට එක්වෙමින් පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ, සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් අවහිරයකින් තොරව බස් රථ ධාවනයට යොදවන බවය.