දන්සලකට කියා කාමරයකට රැගෙන ගිය 16 හැවිරිදි යුවතිය මිය යයි

0

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි කළුතර ජනප්‍රිය පාසලක සිසුවියක හෝටලයක කාමරයක් තුළදී අභිරහස් ලෙස මරණයට පත්ව එහි තුන්වැනි මහලෙන් සිරුර බිමට වැටී තිබියදී හමුවූ බව කළුතර දකුණු පොලිසිය පවසයි.

මෙම හෝටලය මහල් පහකින් යුක්ත වන අතර ප්‍රධාන පාසල් දෙකක් ආසන්නයේ පවත්වාගෙන ගොස් ඇත.

මෙලෙස ඛේදජනක ඉරණමකට ගොදුරුවී ඇත්තේ ටිහාරා නිර්මාණි නිශ්ශංක සිල්වා නමැති නාගොඩ, කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සිසුවියකි.

මියගිය ශිෂ්‍යාව එම පාසලේම උසස් පෙළ හදාරන සිසුවියක විසින් දන්සලකට යන බව පවසා නිවසින් කැඳවාගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත. මෙම උසස් පෙළ ශිෂ්‍යාවගේ චර්යාවන් සම්බන්ධයෙන් පාසල විසින් මීට පෙර පන්ති තහනමක්ද පනවා පසුව පාසලට පැමිණීමට අවසර දී ඇති බව පැවසේ.

මෙම උසස් පෙළ සිසුවිය මියගිය බාලවයස්කාර සිසුවිය සමග කාලයක සිට හිතවත් කමක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඇයගේ පෙම්වතා සහ ඔහුගේ මිතුරකු සිටින හෝටලයකට ශිෂ්‍යාව රැගෙන ගොස් කාමර දෙකක් වෙන්කරවා ගෙන ඇති බවත් විමර්ශනවලදී හෙළිවී ඇත. බාලවයස්කාර සිසුවියට හෝටලයේ කාමරයක් වෙන්කරවා ගැනීම සඳහා උසස් පෙළ ශිෂ්‍යාව අසල්වැසි 21 හැවිරිදි තරුණියකගේ ජාතික හැඳුනුම්පත ඉල්ලාගෙන ගොස් ඇයගේ නමින් කාමරය වෙන්කරවා ගෙන ඇති බවත් හෙළිවී ඇත. උසස් පෙළ සිසුවිය සමග ඇගේ පෙම්වතා වන තරුණයාද ඔහුගේ 29 හැවිරිදි මිතුරකුද සමග මෙම ශිෂ්‍යාව මෝටර් රථයකින් හෝටලයට පැමිණ ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත. එම මෝටර් රථය කුලී පදනම මත ලබාගත් එකක් වන අතර එය පොලිස් භාරයට ගෙන තිබේ. ඝාතනයට ලක්වූ සිසුවිය දක්‍ෂ චරිතවත් සිසුවියක් බව පාසල් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙම සිව්දෙනා පෙරේදා (6 දා) සවස 7.00 ට පමණ හෝටලයට පැමිණ මත්පැන් පානය කරමින් සිටිනු දුටු බව හෝටල් සේවකයන් පොලිසියට පවසා ඇත. අනතුරුව උසස් පෙළ සිසුවිය ඇයගේ පෙම්වතා සමගද මියගිය ශිෂ්‍යාව අනෙක් තරුණයා සමගද කාමර දෙකකට ගොස් ඇති බවට පොලිසිය සැක කරයි. මෙම හෝටලය කාමර ලබාදීම නීත්‍යනුකූල නොවන ආකාරයට පවත්වාගෙන ගොස් ඇති බවට චෝදනා එල්ලවී ඇත.

මියගිය ශිෂ්‍යාව සමග සිටි තරුණයා 29 හැවිරිදි දෙවරක් විවාහ වූ අයකු බව වාර්තා වේ. තරුණිය ඝාතනය කිරීමෙන් පසු ඔහු එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර ඔහු සිටින ස්ථානයට පොලිසිය ගියත් ඔහු එම ස්ථානයෙන් පලාගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

උසස් පෙළ ශිෂ්‍යාව සහ ඇගේ පෙම්වතා රාත්‍රි 7.30 ට පමණ හෝටලයෙන් පිටව ගොස් ඇති අතර ඔවුන්ගේ මිතුරා වන 29 හැවිරිදි පුද්ගලයාද සුපිරි වෙළෙඳ සලකට ගොස් එන බව පවසා හෝටලයෙන් පිටව ගොස් ඇත. එහෙත් එම අවස්ථාවේ ආහාර ගෙන යෑමට එම හෝටලයට පැමිණි මවක සහ දියණියක ආහාර සකස් කර දෙනතෙක් හෝටලය අසල දුම්රිය මාර්ගය දෙසට ගමන් කිරීමේදී තරුණියක් නිරුවතින් දුම්රිය මාර්ගය අසල වැටී සිටින අයුරුත් ඒ අසල තවත් යුවළක් සිටින බවත් දැක හෝටල් සේවකයන් දැනුවත් කර ඇත.

එහිදී හෝටල් සේවකයන් විසින් පොලිස් හදිසි ඇමතුම් අංක 119 අමතා 1990 ගිලන් රථයක් ගෙන්වා ගෙන ඇතත් ඔවුන් පැමිණ තරුණිය මියගොස් ඇති බව පවසා ඇත. හෝටල් සේවකයන් තරුණිය අසලට පැමිණෙන විට ඇය අසල සිටි යුවළ එම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර ඔවුන් දෙදෙනා මියගිය ශිෂ්‍යාවගේ උසස් පෙළ මිතුරිය සහ ඇයගේ පෙම්වතා බවට සැකකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර උසස් පෙළ සිසුවිය හා ඇගේ පෙම්වතා කළුතර දකුණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය ශිෂ්‍යාව සමග සිටි බව කියන 29 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත. පලා ගිය පුද්ගලයා කළුතර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකුගේ ආධාරකරුවකු බවද පැවසේ.

මියගිය සිසුවියගේ හිස, ගෙල ඇතුළු සිරුරේ ස්ථාන කිහිපයක කැපීම් සහ තැලීම් තුවාල තිබූ බව එම උසස් නිලධාරියා පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ධම්මික සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.

සිසුවියගේ මළ සිරුර සම්බන්ධයෙන් ඊයේ (7දා) අධිකරණ වෛi නිලධාරියා විසින් පරීක්‍ෂණ පවත්වා විවෘත තීන්දුවක් ලබාදී සිරුරේ කොටස් රස පරීක්‍ෂකවරයා වෙත යොමු කිරීමට නියෝග කර ඇත.

චමින්ද සිල්වා, නෝමන් පළිහවඩන, යූ. කේ. අබේරත්න, ආර්. එන්. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම