සියලු තරග පරාජය වෙමින් තිබු අවස්ථාවක අවසානයේ ජයග්‍රහණය අත් කර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නිවැරදි නායකත්වය හේතු වූ බවත්, තමාගේ ද උත්සාහය වන්නේ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා මෙන් පරාජය වූ රට ජයග්‍රහණයේ මාවතට ඔසවා තැබීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
පසුගිය ජූලි මාසයේ දී තමා රට භාර ගත්තේ ඉන්ධන, පොහොර, ආහාර හිඟය ඇතුළු තවත් දැඩි අර්බුද රැසක් සමඟ වන අතර, එය බොහෝ තරග පරාජය වූ රාජකීය කණ්ඩායම මෙන් පැවති බව සිහිපත් කළ ජනාධිපතිවරයා, රට ගොඩගැනීමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වු බව ද කියා සිටියේය.
නමුත් එම තත්ත්වය වෙනස් කර, රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට පසුගිය මාස 07 තුළ තම කණ්ඩායමට හැකි වූ බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ශ්‍රී ලංකාව බංකොළොත් රාජ්‍යයක් නොවන බව අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (19) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති 32 වන ඉන්ටරැක්ට් දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
ඉදිරි වසර දෙක තුළ දියුණු වන රටක් සියලුදෙනාට දැක බලා ගත හැකි බවත්, කලාපයේ වඩාත් සෞභාග්‍යමත් රට බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීම සඳහා අද දවසේ ආර්ථිකය ස්ථාවර කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා ආර්ථිකය ගොඩනැඟීම ද සිදුකළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
2048 වන විට ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් රටක් බවට පත්කිරීමේ 25 වසරක සැලැස්ම මේ වන විටත් ක්‍රියාවට නංවා තිබෙන අතර, එය සාර්ථක කර ගත හැක්කේ වත්මන් තරුණ පරපුරේ කැපවීම මත බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, විශාකා විද්‍යාලය සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලය විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව සඳහා දිවයින පුරා පාසැල් රැසක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 700ක් පමණ සහභාගි වී සිටියහ.
32 වන ඉන්ටරැක්ට් දිස්ත්‍රික් සමුළුවේ සභාපති අබ්දුල්ලා සිද්දීක් විසින් පිළිගැනීමේ කතාව සිදුකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගනු ලැබීය.
ඉන්ටරැක්ට් ගෝලීය තරුණ ව්‍යාපාරය වෙනුවෙන් ලබා දෙන සහයෝගය සහ සහභාගීත්වය අගය කරමින් ජාත්‍යන්තර රොටරි සමාජයේ දිස්ත්‍රික් අධිපතිනි (ශ්‍රී ලංකාව සහ මාලදිවයින) පුබුදු ද සොයිසා මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත ලාංඡනයක් පැළඳ වූ අතර ඉන්ටරැක්ට් දිස්ත්‍රික් සමුළුවේ සභාපති අබ්දුල්ලා සිද්දීක් විසින් සමරු ඵලකයක්ද පිරිනැමීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
“ඊයේ දිනයේ පැවති රාජකීය- ශාන්ත තෝමස් ක්‍රිකට් තරඟය නිසා අද දිනයේදී මෙම අවස්ථාවට මම සහභාගි නොවනු ඇතැයි ඔබේ දිස්ත්‍රික් අධිපතිනිය කණස්සල්ලෙන් පසුවූ බව මට දැන ගන්නට ලැබුණා. නමුත් ක්‍රිකට් තරගය ඊයේ අවසන් වුණ බවත් අද අලුත් දවසක් ආරම්භ වූ බවත් මම කියන්න කැමතියි. ඒ වගේම එය රසවත් ක්‍රිකට් තරගයක් වූ බව කිව යුතුයි. රාජකීය සහ ශාන්ත තෝමස් යන කණ්ඩායම් දෙකටම මම ප්‍රශංසා කරනවා. එම දෙපාර්ශවයටම වගේම ලබන වසරේ ක්‍රීඩා කරන ශිෂ්‍යයන්ටත් එම තරගය නායකත්වය පිළිබඳ පුහුණුවක් වගේම පරීක්ෂණයක් බව කිව යුතුයි.
ඔබ තරගයකට සූදානම් වන්නේ කෙසේද? ඔබේ පුහුණුකරු සමඟ කටයුතු කරන්නේ කෙසේද? තරගය ජයග්‍රහණය කිරීමට උත්සාහ කරන්නේ කෙසේද? ඒ වගේම පරාජය වළක්වා ගන්නේ කෙසේද යන කරුණු පිළිබඳ තමයි ඔබ අවධානය යොමු කළ යුතු වන්නේ.
සැබැවින්ම රාජකීය- ශාන්ත තෝමස් ක්‍රිකට් තරගයේ ඊයේ දිනය තීරණාත්මකයි. ශාන්ත තෝමස් සාමාජිකයන් අධ්‍යනය කළ යුතුයි ඇයි ඔවුන් පරාජය වුණේ සහ රාජකීය විද්‍යාලය ජයග්‍රහණය කළේ කොහොමද කියන කාරණය. ඒ වගේම ඔබේ උපාය මාර්ගයන්හි දුර්වලතා මොනවද? ලබන වසරේ ඩී. එස් සේනානායක ශූරතාව ඔබ ජයග්‍රහණය කරන්නේ කෙසේද? එය තමයි නායකත්වයේ පරීක්ෂණය.
ඒවගේම රාජකීය විද්‍යාලය පැත්තෙන්, විශේෂයෙන් එහි නායකයා තවත් පරීක්ෂණයකට මුහුණ දෙනවා. ඒ තමයි තරග ගණනාවක් පරාජයට පත් වූ පසුබිමක පරාජය නොවී සිටින්නේ කෙසේද යන්නත්, දෙවනුව ජයග්‍රහණය කරන්නේ කෙසේද යන්නත් සම්බන්ධවයි.
එහිදී ඔහු පරාජය නොවී සිටීමටත් ජයග්‍රහණය කරා යාමටත් තීරණය කර තිබෙනවා. ඇත්තෙන්ම එය හොඳ නායකත්වයක්. ඔහුට මගේ ප්‍රශංසාව හිමි වෙනවා. රාජකීය විද්‍යාලය සියලු තරග පරාජය වෙමින් තිබෙන අවස්ථාවක අවසානයේදී ජයග්‍රහණය ලබාගෙන තිබෙනවා.
දැන් මගේ උත්සාහය වන්නේත් රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කළ දේ සිදු කිරීමටයි. මම මේ රට බාර ගත්තේ පසුගිය ජුලි මාසයේදී. ඔබ දන්නා පරිදි ඒ අවස්ථාව වන විට ඉන්ධන, පොහොර, ආහාර ආදී හැමදේකම හිඟයක් පැවතුණා. අපට මුදල් තිබුණේ නෑ. අපට ඒ සඳහා ගෙවීම් කිරීම දුෂ්කර කර්තව්‍යක් වුණා. එය හරියට බොහෝ තරග පරාජය වූ රාජකීය කණ්ඩායම වගේ. බොහෝ දෙනා සිතුවේ අපට එයින් ගොඩ ඒමට නොහැකි වේවි කියලයි.
පසුගිය මාස 7ක පමණ කාලයක සිට මේ දක්වා එම තත්ත්වය ස්ථාවර කිරීමට මගේ කණ්ඩායමට හැකි වුණා. දැන් ඉන්ධන, විදුලිය, පොහොර තිබෙනවා. අප්‍රේල් මාසය වන විට අවශ්‍ය ප්‍රමාණයට සහල් ලැබෙනවා. මේ තත්ත්වය යටතේ අප තව දුරටත් බංකොළොත් රාජ්‍යයක් නෙවෙයි.
නමුත් රට නැවත ගොඩගත හැක්කේ ණය සහනය සමඟයි. එය ඉදිරි දින කිහිපය තුළ සිදුවනු ඇතැයි මම විශ්වාස කරනවා. රාජකීය විද්‍යාල කණ්ඩායමේ නායකයා වගේ මටත් සිදු වී තිබෙනවා රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කරන්නේ කෙසේද කියන කාරණය වෙනුවෙන් කටයුතු කරන්න. අප මේ මොහොත වන විට කරමින් සිටින්නේ කුමක්ද කියනවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය අපට ලබා දෙන්නේ හුස්ම ගැනීමට ඉඩකඩක් පමණයි.
අප තව දුරටත් බංකොළොත් රාජ්‍යයක් නොවන බව ඔවුන් පවසාවි. එවිට අපට ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ හැකියි. මේ වසරේ අපට ගෙවීමට ඇති සියලු මුදල් නැවත ගෙවීම සඳහා වසර දහයක් ලබා දෙනු ඇති කියා මම බලාපොරොත්තු වෙනවා.
මේ අතර අපේ විදේශ විනිමය ආදායම අපේ සියලු අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවන බැවින් අපට අලුත් ණය ලබා ගැනීමට සිදුවෙනවා. විදේශයන්ගෙන් අපට මිලදී ගැනීමට ඇති අවශ්‍යතා සඳහා යන වියදමට වඩා අපේ අපනයන ආදායම අඩුයි. මෙය දිගු කාලීනව පැවති තත්ත්වයක්.
ඒ සමඟ අප රුපියල ස්ථාවර කරන්නේ කෙසේද? යන්නත් සලකා බැලිය යුතුයි. ඩොලරයට සාපේක්ෂව මේ වන විට රුපියලේ අගය තුන්සිය දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවට පැමිණි පසු එය රුපියල් දෙසීයට හෝ එකසිය අසූ පහ දක්වා ක්‍රමයෙන් පහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.
අපට ස්ථාවරත්වයට පත් වීම සඳහා වසර 04ක කාල පරිච්ඡේදයක් තිබෙනවා. අයවැය හිඟයක් ඇති නොවන බවට හා 2026 වන විට අයවැය අතිරික්තයක් ඇති කරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් ඉලක්ක සමඟ අප එකඟ වුණා. එවිට අප ලබා ගත් මුදල් නැවත ගෙවිය හැකියි.
දැන් එය එතරම් හොඳ තත්ත්වයක් නොවේ, නමුත් ආර්ථිකය ස්ථාවර කර ගත් පසු, ණය ප්‍රතිව්‍යුහගත කළ හැකි වූ පසු, අපේ සියලු ණය ගෙවා සෑම වසරකම අතිරික්තයක් රට තුළ ඇති තත්ත්වයට පැමිණීමට ක්‍රමවේද සොයා ගත යුතුයි. ජපානය, සිංගප්පූරුව ජර්මනිය හෝ කොරියාව වැනි රටවල වගේ, වසර අවසානයේදී අපට අතිරික්තයක් ලැබෙනු ඇතියි. එවිට විදේශ විනිමය ආදායම අපගේ අවශ්‍යතා සඳහා යන වියදම අභිබවා යනවා. මෙය තමයි ඊළග ඉලක්කය.
මෙම අවස්ථාව ජයග්‍රහණය කිරීමට ආර්ථිකය ස්ථාවර කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ සඳහා රටේ ආර්ථිකය වර්ධනයත් ඇති කළ යුතුයි. එසේ ආර්ථිකය වර්ධනය නොකළහොත් අප නැවත පහළට යනවා.
මම රාජකීය විද්‍යාලයේ ප්‍රාථමිකයට යන කාලයේ ආසියාවේ දෙවෙනියට සමෘද්ධිමත් ජාතිය වූයේ අපියි. පළමුව ජපානය, ඉන් පසුව ශ්‍රී ලංකාව. අද අනෙක් සෑම රටක්ම අපිව අභිබවා ගොස් තිබෙනවා. දැන් මගේ අරමුණ වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම, වසර දහයකින් අපගේ ණය ආපසු ගෙවීමට හැකි වන පරිදි ආර්ථිකය ස්ථාවර කිරීමට අඩිතාලම දැමීම පමණක් නොවෙයි. ඉදිරි වසර 40 – 50 තුළ ජීවත් වන අයට යහපත් අනාගතයක් ලබා දෙන සමෘද්ධිමත් නව ආර්ථිකයක් ගොඩනැගීම තමයි මගේ අවශ්‍යතාවය.
මට එම මහා තරගය සඳහා කණ්ඩායමක් අවශ්‍යයි. අප එය සිදු කරනවාද? අප රට දියුණු කරනවාද? එසේ නැත්නම් රට කඩා වැටීමට ඉඩ දෙනවාද? මේ ක්‍රීඩාව සඳහා මගේ කණ්ඩායම කවුද?
මගේ කණ්ඩායම අන් කිසිවෙක් නෙවෙයි. ඒ ඔබ සියලුදෙනායි. ඒ සඳහා අප සිටින්නේ වසර 25ක සැලැස්මකයි. වසර 2048 දී මේ රට සමෘද්ධිමත් රටක් වනු ඇතියි. මැලේසියාව, සමහර යුරෝපා රටවල ජනතාව වගේ අපට ණය ගෙවීමට නැති වනු ඇතියි. ඊටත් වඩා අවම වශයෙන් ඔබ මාසකයට ඩොලර් දහස් ගණනක් හෝ ඊටත් වැඩිය උපයාවි.
මෙතන සිටින ඔබ අතරින් වැඩිමහල්ම කෙනාට තවත් වසර 25කින් වයස අවුරුදු 45ක් වේවි. සමහර අයට ඊටත් අඩු වෙයි. අප කතා කළ යුත්තේ ඔබේ අනාගතය පිළිබඳවයි. ආර්ථිකය ස්ථාවර කිරීම තුළින් රටක් වශයෙන් අපට දියුණු විය නොහැකියි. සමෘද්ධිමත් සමාජයක් විය නොහැකියි. අප ආර්ථිකය ස්ථාවර කළ විට සමෘද්ධිමත් රටක් කරා ගමන් කළ හැකියි.
දැන් සමහරු හිතාගෙන ඉන්නේ අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීමටයි. මෙරට විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමේ දුෂ්කරතා හෝ විශ්වවිද්‍යාල තුළ ඔබ මුහුණදෙන ගැටලු පිළිබඳ මට වැටහීමක් තිබෙනවා.ඒ වගේම ඇතැමුන් හිතාගෙන ඉන්නේ ලංකාවේ නොසිට විදේශගත වීමටයි. තවත් සමහර අය විදෙස් රැකියා සඳහා ගොස් නැවත පැමිණීමට බලාපොරොත්තු වෙනවා.
විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් සිටින සියලුදෙනාටම මට කියන්න තියෙන්නේ මේ රට අතාරින්න එපා කියන එක විතරයි. ඉදිරි වසර දෙක තුළ රට සංවර්ධනය වන ආකාරය ඔබට දකින්නට ලැබේවි. එවිට ඔබට අනාගතයක් ඇති බව ඔබට පෙනේවි. එබැවින් පිටරට යන්න, ඉගෙන ගන්න, නමුත් ආපසු පැමිණීමට මතක තියාගන්න. මොකද අපිට වසර 25ක මහා තරගයක් තිබෙනවා ජයග්‍රහණය කිරීමට.
රාජකීය – ශාන්ත තෝමස් වගේ දින තුනකින් ක්‍රීඩා කරන තරග හෝ නැත්නම් වෙනත් පාසල් තරග මෙන් දින දෙකෙන් ක්‍රීඩා කරන තරග වගේ නොවේ, අපට තිබෙන්නේ අවුරුදු 25 තරගයක්. දෙවැනි ඉණිම පළමු ඉණිමට වැඩිය තරමක් දිගු එකක්. පළමු ඉණිම වසර හතරක් පමණයි. ඉන්පසුව දෙවැනි ඉණිම වසර 21ක් පමණ වේවි. මේ තමයි අපට ක්‍රීඩා කරන්න තිබෙන තරගය. මෙතැන සිටින ඔබ සියලුදෙනා එම තරගය ක්‍රීඩා කළ යුතුයි. මේ රටේ සිටින මේ වයසේ සියලුදෙනා ක්‍රීඩා කළ යුතුයි. මේ තරගය අප ක්‍රීඩා කරන්නේ ජයග්‍රහණය කිරීමටයි.
කලාපයේ වඩාත්ම සමෘද්ධිමත් රට බවට අප පත්විය යුතුයි. දුප්පත්කම නොතිබිය යුතුයි. අපට රැකියාවක් තිබිය යුතුයි. අපට හරිත ආර්ථිකයක් තිබිය යුතුයි. අපට ඩිජිටල් ආර්ථිකයක් තිබිය යුතුයි. අපේ තාක්ෂණයේ නවීන විය යුතුයි: අපේ චින්තනය ද නවීන විය යුතුයි. ඒ වගේම පළාත් පාලන ක්‍රමයේ ඉතා කැපී පෙනෙන වෙනසක් සිදුවිය යුතුයි. මේවාට තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ.
මෙතන සිටින සාමාජිකයින් ගැන හිතල ඒ සිස්ටම් චේන්ජ් වෙන්න ඕන. ඔබට අවශ්‍ය රට කුමක්ද? ඔබට අවශ්‍ය සමාජය කුමක්ද? ඔබට අවශ්‍ය වෙනස්කම් මොනවාද? එහෙම නම් ඒ රට ගොඩනැගීමට හවුල් විය යුතුයි.
මොකද අවසානයේ නායකත්වය ගන්නේ ඔබයි. ඔබ සෑම කෙනෙක්ම රට ගොඩනැගීමට සහ රට ඉදිරියට ගෙන යාමට විවිධ ආකාරයෙන් උපකාර කරනු ඇති. අනාගතයේදී ඔබගෙන් සමහරෙකුට ඉදිරියට පැමිණ අද මම කරන කතාව කිරීමට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.”
ජාත්‍යන්තර රොටරි සමාජයේ දිස්ත්‍රික් අධිපතිනි (ශ්‍රී ලංකාව සහ මාලදිවයින) පුබුදු ද සොයිසා , දිස්ත්‍රික් ඉන්ටරැක්ට් කමිටුවේ සභාපති ෂානාස් ෂහාබ්දීන් , තරුණ කමිටුවේ සභාපති ජී. එස් සිල්වෙස්ටර්, ක්‍රිෂාන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඇතුලු රොටරි සාමාජිකයන් ද මේ අවස්ථාවට සහභාගි විය