තිලිණි ප්‍රියමාලි ලක්ෂ 750ක තොවිලයක් නටලා

0
Thilini Priyamali - තිලිණි ප්‍රියමාලි ලක්ෂ 750ක තොවිලයක් නටලා

ප්‍රකෝටිපතියන් රවටා රුපියල් බිලියන ගණනාවක් වංචා කළ තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලි රුපියල් ලක්ෂ 750ක් වැය කරමින් කොළඹදී තොවිල් ශාන්ති කර්මයක් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ. අපල දුරුකර ව්‍යාපාර දියුණුව සඳහා කොළඹ ප්‍රධාන පෙළේ ව්‍යාපාර ගොඩනැගිල්ලක් තුළදී රහසිගතව පවත්වන ලද එම ශාන්තිකර්මය සඳහා ගාල්ල ප්‍රදේශයේ යකැදුරෙකුගේ සේවය ලබාගෙන තිබෙන බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

මෙම ශාන්තිකර්මය සඳහා තිලිණි ප්‍රියමාලිගේ ව්‍යාපාර හවුල්කාරියක්, සමීපතයන් කිහිපදෙනෙකු සහ තිකෝ සමූහ ව්‍යාපාරයේ සේවකයන් කිහිපදෙනෙක් සහභාගි වී තිබෙන බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන්, නළු නිළියන්, භික්ෂුන් වහන්සේලාගෙන් ලබාගත් මුදල් වියදම් කරමින් අදාළ තොවිල් ශාන්තිකර්මය පවත්වා තිබෙන බවටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ​තොරතුරු ලැබී තිබේ.

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් ඒකක 6ක් යටතේ පුළුල් විමර්ශනයක් සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ජනප්‍රිය නිළියන් දෙදෙනකුගෙන්, ප්‍රවීණ නිළියකගෙන් සහ නිළියක් මෙන්ම රූපවාහිනි නිවේදිකාවකගෙන්ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

තිලිණි ප්‍රියමාලිගේ වංචාවට ආධාර අනුබල දී ඇතැයි පැවැසෙන තිකෝ සමූහ ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකුගෙන් පමණ මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් ක​ළේය.

නමුත් ප්‍රකාශ සටහන් කිරීමට අත්‍යවශ්‍ය තිකෝ සමූහ ව්‍යාපාරයේ කාර්යය මණ්ඩල​යේ කිහිපදෙනෙකු මේ වනතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීම මගහරිමින් සිටින බවද වාර්තා වෙති.